FAST NEWS

24×7 Around the Globe

කුසල්ගේ ගෙදරට හොරු පනියී…

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ පානදුර ගොරකාන ගල්කණුව පාරේ නිවසට 02 දා මැදියම් රැයේ ඇතුළු වූ සොරුන් විසින් රුපියල් 310,000 ක් වටිනා රන් ආභරණ සහ රුපියල් 5,000 ක මුදලක්ද සොරකම් කරගෙන ගොස් ඇති බව පානදුර උතුර (කෙසෙල්වත්ත) ‍පොලිසියට ලැබී ඇති පැමිණිල්ලක සඳහන් වේ.

ඉකුත් 02 දා රාත්‍රී 11 ත්, අලුයම 1 ත් අතර සිදු වී ඇති මෙම සොරකමේ දී පවුම් එකේ රන්මාල 3, පවුම් 4/1 මුදු 4, පවුම් 1 3/4 රන් මාලයක් සහ පවුම් 1 මුදු 2 ක් සමග රුපියල් 5000 ක මුදලක්ද සොරුන් විසින් ගෙනගොස් ඇති බව එම පැමිණිල්ලේ සඳහන් වේ.

තුන්මහල් නිවසක් වන එම නිවසේ බිම් මහ‍ලේ කාමරයේ අල්මාරි ලාච්චුවක මේ රත්රන් බඩු තිබි ඇති අතර ලාච්චුව කඩා ඒවා සොරකම් කරගෙන ගොස් ඇති බවත් දැනට විදේශයක ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස්ගේ පවු‍ලේ සාමාජික බාලපුවඩුගේ දීප්ත මෙන්ඩිස් යන අය එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

මේ දක්වා එම සොරකම පිළිබඳව කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර පානදුර උතුර ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක පල්ලියගුරුගේ මහතාගේ උපදෙස් පරිදි එම ‍පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ උප ‍පොලිස් පරීක්ෂක සරණපාල මහතා ප්‍රමුඛ ‍පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.