FAST NEWS

24×7 Around the Globe

යහපාලනය මහ දවාලේ නිරුවත් කල රන්ජන් ගැන තීරණයක් ගන්න..

 

රාජ්‍ය නිලධාරිනියකට නින්දිත ලෙස ප‍්‍රසිද්ධියේ බැණ වැදුනු නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට එරෙහිව පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

මන්ත‍්‍රිවරයා විසින් මේ බව ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

අතිගරු ජනාධිපතිතුමනි,

නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක මහතාට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලීම.

සමාජ සුභසාධන හා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පහුගිය 26 වන දින දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරියට ජනතාව ඉදිරියේ පහත් ලෙස බැණ තර්ජනය කිරීමේ සිද්ධිය ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ලෙසත් ප‍්‍රදේශයේ මහජන නියෝජිතයෙකු ලෙසත් මම පිලිකුල් සහගත ලෙස හෙලා දකිමි.

රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා මෙහිදී හැසිරෙන්නේ යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස නොවේ. ඔහු විසින් රගපෑ බොළද චිත‍්‍රපටයක චන්ඩියෙකු ලෙසය. නියෝජ්‍ය ඇමතිවරයාගේ හැසීරීම ඔබතුමා නිරන්තරයෙන් පෙනී සිටින යහපාලනය අමු දවාලේ නිරුවත් කිරීමකි.

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා හොක්ක තලන බවට තර්ජනය කරන්නේ රටේ පරිපාලන සේවයේ නිලධාරිනියකටය. විශේෂයෙන්ම කාන්තාවකටය. අදාල පස් කැපීම සදහා භූ විද්‍යා හා පතල් කැපීමේ කාර්යාංශය අනුමැතිය දී ඇති බවත්, එය අත්හිටුවිය හැකි ක‍්‍රමවේදයන් පැහැදිලි කරන ප‍්‍රාදේශීය ලේකම්වරියට නියෝජ්‍ය ඇමතිවරයා සිය ආධාර කරුවන් හා මාධ්‍ය ඉදිරියේ තර්ජනය කරන්නේ ලකුණු දමා ගැනීමේ උවමනාවකට මිස අන් කිසිවක් නිසා නොවේ.

රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා මෙලෙස හැසිරුණු පලමු හා අවසන් අවස්ථාව මෙය නොවේ. මීට පෙර අවස්ථා කීපයකදීම නියෝජ්‍ය ඇමතිවරයා මාධ්‍ය ඉදිරියේ වීරයෙකු වීම සදහා මෙවැනි චරිත රගපෑ බව අපට මතකය.

එබැවින් අතිගරු ජනාධිපතිතුමනි,

රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරියගේ හොක්ක තලන බවට කල තර්ජනය පිලිබදව වහා විධිමත් පරීක්‍ෂණයක් පවත්වා නියෝජ්‍ය ඇමතිවරයාට එරෙහිව පියවර ගන්නා ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

ස්තූතියි,
මෙයට – විශ්වාසී,

ප‍්‍රසන්න රණතුංග (පා.ම.)