FAST NEWS

24×7 Around the Globe

“උතුරේ වී කළුකඩ මුදලාලිලාට දෙන්න එපා“ – ඇමති රිෂාඩ් කියයි…

 

උතුරේ ගොවීන් තවදුරටත් තම වී අස්වැන්න කළු කඩ මුදලාලිලාට විකුණන්න අවශ්‍ය නැතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා ඊයේ (26) මන්නාරමේ දී පැවැසිය.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ මන්නාරම නානාට්ටාන් හි සහල් මෙට්‍රික් ටොන් 10,000ක් ගබඩා කළ හැකි, වී ගබඩාවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ග්‍රාමීය සංවර්ධන බැංකුවේ ව්‍යාපෘතියක් ලෙස ඉදිකරන ලද මෙම වී ගබඩාව සඳහා රජය රුපියල් කෝටි 26ක මුදලක් වියදම් කර තිබූ අතර මුදල් ඇමති රවී කරුණානායක මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ බදුයිදීන් අමාත්‍යවරයා මෙසේ ද පැවැසුවේය.

‘‘ මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චිය, යාපනය ඇතුළු උතුරේ ජනතාව වැඩි පිරිසක් ජීවත් වන්නේ වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයෙන්. ඔවුන් අවුරුදු 30ක් පමණ යුද්ධයකින් පීඩා වින්දා.

මා ඇතුළු මන්නාරමේ ජනතාව විශාල පිරිසකට තමන්ගේ වගා බිම් විතරක් නෙවෙයි උන් හිටි තැන් පවා අහිමිවුණා.

අපිට ඉතිරිවුණේ ඇඳිවත විතරයි. මේ ප්‍රදේශයේ ජනතාව දිවා රෑ මහන්සිවෙලා වගා කරනවා. වී ගොවිතැන් කරන අය අස්වැන්න නෙලා ඒ අස්වැන්න ගබඩා කරගන්න තැනක් නැති නිසා පුද්ගලික මුදලාලිලාට විකුණනවා.

රජයේ සහතික මිලක් තිබුණත් රජයටත් මේ ප්‍රදේශවල වී මිලදී ගෙන ගබඩා කරන්න තැනක් නැහැ. ප්‍රතිඵලය වෙන්නේ පුද්ගලික ගැණුම්කරුවන් කුණු කොල්ලයට වී අරගෙන යනවා.

අපි රජයක් ලෙස මේ ගොවීන් ගැන කල්පනා කළා. ඒ නිසා තමයි අපිට අද මේ වගේ විශාල වී ගබඩාක් මන්නාරමට ලබා දෙන්න පුළුවන් වුණේ. මේ තමයි උතුර වෙනුවෙන් රජය ඉදිකළ පළමු වී ගබඩාව.

දැන් මේ නිසා වී ගොවීන්ට තමන්ගේ වී ටික වී අලෙවි මණ්ඩලයට ගෙනවිත් දී මේ ගබඩාවට විකුණන්න හැකියාව ලැබෙනවා. මෙය ලොකු ජයග්‍රහණයක් ”