FAST NEWS

24×7 Around the Globe

‘සතුනුත් කරනවා නම් ඇයි අපිට බැරි සමලිංගිකත්වය නීතිගත කරන්න…!’

 

වැඩිහිටියන් දෙදෙනකු ස්වකැමැත්තෙන් කිසියම් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන්නේ නම් සංස්කෘතිය හෝ සදාචාරාත්මක හේතු පදනම් කරගනිමින් රාජ්‍යය එයට මැදිහත් වියයුතු ද යන්න ගැටලුවක් බව ජාතික මානව හිමිකම් කොමිසම පැවැසීය.

මානව හිමිකම් පාර්ශවයෙන් සහ මානවවාදී ලෙසින් සළකා බලන විට එය එසේ නොවිය යුතුය යන්න ජාතික මානව හිමිකම් කොමිසමේ ස්ථාවරය බව එහි සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම පැවසීය.

කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා පිළිබඳව කිසිවක් පැවසිය නොහැකි නමුත්, බ්‍රිතාන්‍යය පවා සමලිංගික විවාහය නීතිගතකර තිබියදී ශ්‍රී ලංකාවේ තවමත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ පනවන ලද නීතියක් ක්‍රියාත්මක වීම එහි පවතින ‘උත්ප්‍රාසය’ බව ද මහාචාර්යවරිය සඳහන් කළාය.

“අද දවසේ තියන ජාත්‍යන්තර ප්‍රවණතා පිළිබඳව බලපුවහමත් අපිට බොහොම පැහැදිලියි කෙනෙක්ගේ ලිංගිකත්වය මත පදනම් වෙලා වෙනස්කම් කිරීම ශිෂ්ට සම්පන්න සමාජයක් විසින් කොහෙත්ම අනුමත නොකරන බව,” ඇය සඳහන් කළාය.

නේපාලය දැනටමත් ඒ සම්බන්ධයෙන් ‘ප්‍රගතිශීලී’ පියවර ගෙන තිබෙන බව පෙන්වාදෙන මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය, ඉන්දියාවේ තවමත් එය නීතිවිරෝධීවීම හේතුවෙන් හටගෙන තිබෙන තත්වය පිළිබඳව දීර්ඝ විස්තරයක් ද ඉදිරිපත් කළාය.

සමලිංගිකත්වය යනු කෘතීම ලිංගිකත්වයක් නොව සතුන් අතර පවා පවතින සාමාන්‍ය සංසිද්ධියක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගෙන ඇති බව ද මහාචාර්ය දීපිකා උඩුගම පෙන්වා දෙන්නීය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තවමත් සමලිංගික සේවනය අපරාධයක් ලෙසින් සැළකීම හේතුවෙන් රට පුරා විශාල පිරිසක් දුක් විඳින බව තමන් සමග අදහස් දැක්වූ බොහෝ දෙනා පෙන්වා දුන් කරුණක් බව ද මහාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.