‘‘ගිරව්’’ හෙවත් Parrotfish නැමති මත්ස්‍ය විශේෂය ඇල්ලීම තහනම් කිරීමට ධීවර අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ.
එම අමාත්‍යාංශය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව සමඟ හලාවතදී අද(26) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.
‘‘ගිරව්’’ හෙවත් Parrotfish නැමති මෙම මත්ස්‍ය විශේෂය ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල නොගැඹුරු මුහුදු ආශ්‍රිතව වාසය කරන අලංකාර මත්ස්‍ය විශේෂයක් වේ.
සාමාන්‍යයෙන් අඩි තුනේ සිට අඩි හතරහමාරක් දක්වා වැඩෙන මෙම මත්ස්‍යයන් මිනිසෙකුටත් වඩා දිගින් වැඩෙන අවස්ථා ද දක්නට ලැබේ.
ධීවර අමාත්‍යාංශය පවසා සිටියේ මෙරට බහුලව ආහාරයට නොගත්තද, බොහෝ රටවල මෙම මත්ස්‍ය විශේෂය ආහාරය පිණිස භාවිතා කරන බවයි.
මෑත කාලීනව සීග්‍රයෙන් ‘‘ගිරව්’’ මත්ස්‍යයන් ඇල්ලීම නිසා එම මත්ස්‍යයන් වඳවීමේ තර්ජනයට මුහුණපා ඇති බවට පරිසර විද්‍යාඥයන් මෙන්ම ධීවර ප්රජාවද ධීවර අමාත්‍යාංශයේ අවධානය යොමුකර ඇති නිසා මෙම තත්ත්වය සළකා බලා ගිරව් මත්ස්‍ය විශේෂය ඇල්ලීම තහනම් කිරිම කෙරෙහි අවධානය යොමු කළ බව ධීවර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කලේය.










