සුපිරි තරුවක් වූ තම පියා සැලසුම් සහගත ලෙස මරා දැමූ බව මයිකල් ජැක්සන්ගේ දියණිය වන පැරිස් ජැක්සන් අනාවරණයක් සිදු කර ඇති බව වාර්තා වේ.
රෝලින්ග් ස්ටෝන් සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් 18 හැවිරිදි පැරිස් ජැක්සන් මෙම අනාවරණය සිදුකර තිබේ.
එවැනි සැලසුම් සහගත මරණයක් සිදුවූ බව තමා තරයේ විශ්වාස කරන බව පවසන පැරිස් වැඩිදුරටත් සඳහන් කරන්නේ තම සමීප ඥාතීන් මෙන්ම, සමීප සහෘදයන් ඒ පිළිබඳ හොඳින්ම දන්නා බවයි.
2009 වසරේදී ඖෂධ අධි මාත්‍රාවක් ලබාගැනීම හේතුවෙන් හෘද ක්‍රියාකාරීත්වය අඩපණ වීමෙන් මයිකල් ජැක්සක් මෙළොවින් සමුගත් බව පැවසුණු අතර, එවකට පැරිස්ගේ වයස අවුරුදු 11ක් විණි.
කෙසේ වෙතත්, මෙම මරණය සම්බන්ධයෙන් මයිකල්ගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස කටයුතු කළ කෝනාඩ් මරේ පිළිබඳව සැක මතුවෙමින්, ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක්ද දියත් වූ අතර, පසුව වසර හතරක සිර දඬුවමක්ද මරේ වෙත උරුම විය.
පියාගේ මරණය සැලසුම් සහගතව සිදුවූ බවට අනාවරණය කරන පැරිස් විසින් වෛද්‍ය මරේ වෙත ඇඟිල්ල දිගු කළද, ඇය පවසන්නේ ඊට වඩා එහාගිය සිදුවීමක් මේ පසුපස පවතින බවයි.
එසේම ඒ වෙනුවෙන් යුක්තිය ඉටුවිය යුතු බවද ඇය අවධාරණය කල අතර මේ සිදුවීම් සියල්ල චෙස් පුවරුවකට ගෙනඑන පැරිස් පවසන්නේ, දැන් තමන්ද මේ චෙස් ක්‍රීඩාව සඳහා සූදානමින් සිටින බවයි.
මේ සිදුවීමට අමතරව, පැරිස් සිදුකරන තවත් අනාවරණයක් වන්නේ වයස අවුරුදු 14 නව යොවුන් වියේ දැරියක් ලෙස තමා දූෂණයට ලක්වූ බවත් හා මේ නිසාම අවස්ථා කිහිපයකදී තමා ජීවිතය නැති කරගැනීමට උත්සාහ කළ බවත් පැරිස් රෝලින්ග් ස්ටෝන් සඟරාවට අනාවරණය කර තිබේ.













