FAST NEWS

24×7 Around the Globe

සොයා බැලීමේ කමිටු වාර්තාවට අනුව නවතම රථවාහන දඩ මෙන්න…

දඩ මුදල් ඉහළ නැංවිය යුතු රථවාහන වැරදි 35ක් දඩ මුදල් සංශෝධනය පිළිබඳව සොයාබැලීමේ කමිටුව විසින් හඳුනාගෙන ඇතැයි එම කමිටුවේ සභාපති සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර මහතා පැවැසීය.

රථ වාහන වැරදි හතක් සඳහා රුපියල් 25,000ක දඩයක් අයකිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ මෙම කමිටුවේ අවසන් වාර්තාව මේ වන විට පිළියෙල කරමින් තිබෙන බවත් එම වාර්තාව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.

එම වාර්තාව අමාත්‍යවරයාට බාරදීමෙන් පසු අමාත්‍යවරයා විසින් මෙම දඩ මුදල් ඉහළ නැංවීම පිළිබඳව තීරණයක් ගනු ඇතැයිද ඔහු කියා සිටියේය.

මෙම කමිටුව රථවාහන වැරදි කිහිපයක් සඳහා යෝජනා කර තිබූ දඩ මුදල් අඩු කිරීම පිළිබඳව සාකච්ඡා කළ බවත් රුපියල් 25,000ක දඩයක් අය කළ යුතු බවට යෝජනා කර තිබූ වමෙන් ඉස්සර කිරීමේ වරද සඳහා නියම කෙරෙන එම දඩ මුදල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කළ යුතු බවද ලේකම්වරයා පෙන්වා දුන්නේය.

රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම හා අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම යන වැරදි සඳහා රුපියල් 25,000ක දඩය අඩු නොකල යුතු බවට කමිටුවේ නිර්දේශය වී තිබේ.

එසේම අධික වේගයෙන් රිය පැදවීමටද එම දඩය නියම කෙරිණි.

දඩය වේග සීමාව අනුව වෙනස් කිරීම කෙරෙහිද අවධානය යොමු කර ඇති බවත් ඒ අනුව නියමිත වේග සීමාවට වඩා සියයට 20ක් වේගයෙන් රිය පදවන්නන්ට රුපියල් 5000ක්ද, වේග සීමාව සියයට 25ත් 50ත් අතර ප්‍රමාණයකින් ඉක්මවන්නන් සඳහා රුපියල් 15,000ක් හා සියයට 50කට වඩා ඉක්මවන්නන්ට රුපියල්  25,000ක් වශයෙන් දඩ අයකිරීමට යෝජනා කර ඇති බව ලේකම්වරයා ප්‍රකාශ කළේය.

බොහෝ කාලයකින් රථ වාහන දඩ ඉහල නැංවීමක් සිදු නොවූ බවත් ඇතැම් වැරදි සඳහා අය කරන්නේ රුපියල් 20ක දඩයක් බවත් කී ඒ මහතා එම දඩය රුපියල් 1000ක් දක්වා ඉහල නැංවීමටද කමිටුව යෝජනා කර ඇතැයි වැඩිදුරටත් පැවැසී ය.