FAST NEWS

24×7 Around the Globe

කොළඹ, ජාතික රෝහල ඉදිරිපිට ස්වයංරැකියා වෙළඳුන්ට ඉවත් වන්නැයි දන්වයි…

 

කොළඹ, ජාතික රෝහල ඉදිරිපිට නොරිස් කැනල් හෙවත් ඇල මාර්ගය අද්දර ඉදිකරන ලද ස්වයංරැකියා මධ්‍යස්ථානයේ වෙළඳුන්ට ලබන ජනවාරි 31 සිට එම ස්ථානවලින් ඉවත් වන ලෙස කොළඹ නගර සභාව විසින් එහි වෙළෙඳ ප‍්‍රජාව වෙත ලිඛිතව දන්වා තිබේ.

කොළඹ, ජාතික රෝහල් පරිශ‍්‍රයේ වාහන තදබදයට පිළියමක් වශයෙන් මෙම තීරණය ගත් බව මේ සම්බන්ධයෙන් අදහස් පල කළ කොළඹ මහ නගර සභාවේ නිලධාරියෙකු පැවැසුවේය .

එමෙන්ම මෙම ස්වයංරැකියා වෙළෙඳුන් කලට වෙලාවට කඩ කුලී නොගෙවීම නිසා නගර සභාව හා විශ්වාසය බිඳගෙන ඇති බැවින් ඔවුන් වෙනත් ස්ථානයකට යොමු කරවීම කෙරෙහිද අවධානයක් නොමැති බවද එම නිලධාරියා ප‍්‍රකාශ කළේය.

නමුත් හිඟ කඩ කුලී මුදල් ගෙවීම සඳහා සහන කාලයක් ලබා දෙන ලෙස මෙම ස්වයංරැකියා වෙළෙඳසැල්හිමියන් ඉල්ලා ඇති බව සදහන්ය.

කොළඹ ජාතික රෝහලට දිනපතා පැමිණෙන දහස් ගණනක් ජනතාව හා රෝහල් කාර්යය මණ්ඩලය මෙම ස්වයංරැකියා වෙළෙඳසැල්වලින් විශාල සේවයක් ලබා ගනියි.