FAST NEWS

24×7 Around the Globe

සේයා සදෙව්මි ඝාතන චෝදනාවෙන් නිදහස් වූ පාසල් සිසුවා අධිකරණය ඉදිරියේ වරද පිළිගනියි…

 

සේයා සදෙව්මි ඝාතන චෝදනාවෙන් අධිකරණයෙන් නිදහස ලබා සිටියදී හෙරොයින් මිලි ග්‍රෑම් 17 ක්‌ සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට ඉකුත් වසරේ මාර්තු 15 වැනිදා මිනුවන්ගොඩ අධිකරණයේදී නිවැරදිකරු යැයි පවසා සිටි එවකට පාසල් සිසුවෙකු වූ සුරංජන් ප්‍රදීප් සෙනවිරත්න නැමැත්තා 17 වැනිදා මිනුවන්ගොඩ අධිකරණයේ පැවැති නඩු විභාගය ආරම්භයේදී එම චෝදනාවට වරදකරු බවට පිළිගනු ලැබීය.

එහිදී විත්තිකරුට රුපියල් 5000 ක දඩයක්‌ මිනුවන්ගොඩ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය 17 වැනිදා නියම කළාය.

දිවුලපිටිය පොලිසිය මඟින් දඩ නියම වූ සුරංජන් නැමැත්තාට ඉකුත් වසරේ මාර්තු 15 වැනිදා පින්නකැලේවත්ත ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 17 ක්‌ සමඟ අත්අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එකී චෝදනාව ප්‍රතික්‌ෂේප කිරීමත් සමගම රුපියල් 3000 ක මුදල් සහ රුපියල් ලක්‌ෂයක ශරීර ඇප මත සැකකරුව මුදා හැර නඩුව විභාගයට ගැනීමට නියම කර තිබුණි.

නඩු භාණ්‌ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබූ හෙරොයින් මිලිග්‍රෑම් 17 රජයේ රස පරීක්‌ෂක වෙත යවා තිබූ අතර, එම නඩු භාණ්‌ඩය හෙරොයින් මිලිග්‍රෑම් 17 ක්‌ බවට රජයේ රස පරීක්‌ෂක වාර්තාවද 17 වැනිදා අධිකරණයට ලැබී ඇති බවට අධිකරණයේදී සඳහන් විය.

චෝදනාව පිළිගෙන දඩයකට යටත් වූ සුරංජන් නමැත්තා එකී චෝදනාව ප්‍රතික්‌ෂේප කළ අවස්‌ථාවේ ඔහුව අත්අඩංගුවට ගැනීම සිදු කළ දිවුලපිටිය පොලිස් නිලධාරියාට විරුද්ධව පොලිස්‌ මූලස්‌ථානයට පැමිණිලි කරමින්, ඔහුව එම නිලධාරියා නිකරුණේ අත්අඩංගුවට ගත් බවට පවසා සිටීමෙන් අනතුරුව නිලධාරියාව පොලිස්‌ ක්‍ෂේත්‍ර බළකා මූලස්‌ථානයට මාරු කර ඇති බවටද අධිකරණයේදී සඳහන් විය.