FAST NEWS

24×7 Around the Globe

තරගාවලි පරාජය ගැන නායක මැතිව්ස්ගෙන් විශේෂ ප්‍රකාශයක්..

 

දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ ලැබු 3-0 ක ටෙස්ට් තරගාවලි පරාජය,නායකයකු වශයෙන් තමා මුහුණ දුන්  අසීරුම මොහොත බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය වෙත සඳහන් කළේය.

කණ්ඩායම බොහෝ පරාජයන්ට මුහුණ දුන් අවස්ථාවලදී තමන් කණ්ඩායමේ සිටි නමුත් මෙම තරගාවලියේදී මුහුණ දුන් ඉරණම ඉතාමත් කණගාටුදායක බවත් ඔහු සඳහන් කරයි.

“මා පරාජයන් අත්විඳි බොහෝ කණ්ඩායම් වල ඉඳලා තියෙනවා. ඒත් නායකයකු වශයෙන් ඉතාමත්ම අසීරු පරාජය මෙයයි”

“නායකයෙක් වුණත් නැති වුණත් පරාජය බොහෝ වෙලාවට ගෙන එන්නේ කණගාටුවක්ම තමයි. මොකද අපි ක්‍රීඩා කරන්නේ දිනන්නයි….ඒත් දකුණු අප්‍රිකානුවන් පරාජය කරන්න තරම් දෙයක් අපි කළේ නෑ….ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම අංශයකින්ම ඔවුන් අපව පරාජය කළා”යයි සෙනසුරදා ලද පරාජයෙන් පසුව මැතිව්ස් පැවසීය.

“පිතිහරඹය නම් ගන්න දෙයක් නෑ. සේරම පිතිකරුවෝ, මාත් ඇතුළුව, අසාර්ථකයි. අපි හැමෝම හොඳ ආරම්භයක් ගත්තා වුණත් කිසි කෙනෙක් ඒවා ලොකු ගණන් වලට පරිවර්තනය කළේ නෑ…මෙතන තියෙන කණගාටුදායක දේ ඒකයි”

පන්දු යවන්නන්ට අවස්ථාවක් දෙන්න නම් අපි ලකුණු පුවරුව ලකුණු එකතු කරන්න ඕනා” යයි ද මැතිව්ස් පැවසීය.

“කැපවීම තියෙනවා…..ඒත් අපි තරගයට අවතීර්ණ වෙන විදිහ නැත්නම් අපේ අවධානය රඳවා ගැනීමේ කිසියම් අඩුවක් ඇති කියලයි මට හිතෙන්නේ….මේ වගේ පන්දු යවන්නන් බලඇණියකට එරෙහිව තරග කරන කොට අපිට වැඩි වේලාවක් අවධානය රඳවාගෙන ඉන්න සිදු වෙනවා. ඔවුන් දුර්වල පන්දු එතරම් දෙන්නේ නෑ විතරක් නෙමේ සෑම වෙලාවකම වගේ පන්දුව නිසි තැන පතිත කරනවා”

“අපි ඒ ගැන තේරුම් අරගෙන, විමසිල්ලෙන් සිටිය යුතුයි. ඒත් අවාසනාවකට වගේ අපට ඒ දේ කරන්න ලැබුණෙ නෑ” යයිද මැතිව්ස් පැවසීය.

“කොහොම වුණත් තරගාවලිය ජයගැනීමේ ගෞරවය දකුණු අප්‍රිකානුවන්ට හිමිවෙන්න ඕනේ. තරගාවලිය පුරාම ඔවුන් අති විශිෂ්ට දස්කම් පෙන්වවූවා..”

“අවංකවම මා කියන්න දන්නේ නෑ මොකද වුණේ කියලා. ඒත් එක දෙයක් පැහැදිළියි. අපේ රටේ තියෙන උෂ්ණත්වය නිසා මේ වගේ තණතීරු හදන්න අමාරුයි. අපි හොඳින් සූදානම් වුණත් ඒක මදි වුණා” යයිද මැතිව්ස් පැවසීය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි:20 තරගාවලිය මේ මස 20 වැනිදා ආරම්භ වේ.

ජනවාරි 20, 22 සහ 25 යන දනවලදී එම තරග තුන පැවැත්වේ.