නීතිඥවරයකු ලෙස පෙනී සිටිමින් රටේ විවිධ ප්‍රදේශවල කාන්තාවන් මුලා කොට රුපියල් විසිපන් දහසක වැටුපකට රැකියා දෙන බව පවසා එම කාන්තාවන් රැගෙන ගොස් දූෂණය කොට ඔවුන්ගේ අත, කනකර පැළඳි රන් භාණ්‌ඩ හා මුදල් රැගෙන පලා යන පුද්ගලයකු පිළිබඳ මසකට අධික කාලයක් පරීක්‍ෂණ පවත්වා ගම්පොල පුස්‌සැල්ලාව පොලිසිය ඔහු මුතූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මේ වන විට මෙම පුද්ගලයා නුවරඑළිය, රාගල, ගම්පොල, පුස්‌සැල්ලාව ආදි ප්‍රදේශවල වයස අවුරුදු 18 සිට අවුරුදු 40 දක්‌වා වයස් වල කාන්තාවන් කීප දෙනකුම මුලා කොට දූෂණයට ලක් කොට ඔවුන් සතු රන් භාණ්‌ඩ හා මුදල් පැහැරගෙන ගොස් ඇතැයි අනාවරණය වී ඇත.
විවිධ මාධ්‍යවල පළවන දැන්වීම් අනුව කාන්තාවන් වෙත දුරකථන ඇමතුම් ලබා දෙන මෙම පුද්ගලයා නීතිඥයකු බව පවසා විශ්වාසය ගොඩනගා ඔවුන් මෙසේ මුලා කොට ඇති බව පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.
මොහු මේ ලෙස මාධ්‍යවල පළ වී තිබූ රැකියා ඒජන්සියක විස්‌තර අනුව නීතිඥයකු ලෙස කතා කොට එම රැකියා ඒජන්සියේ කාන්තාවක් තම නිවසේ කටයුතු සඳහා අවශ්‍ය යෑයි පවසා ගෙන්වා ගෙන තිබේ.
ඇයට පවසා ඇත්තේ තම මව නොබෝ දිනකින් ලන්ඩන් යැමට සිටින නිසා ඇය සමග යැමටද සිදුවන බවයි.
රුපියල් 25000 ක වැටුපක්‌ද දෙන බව පවසා ඇය වාහනයෙන් නිවසට ගෙන යාම සඳහා මහනුවර බස් නැවතුමට ගෙන්වා ඇත.
නමුත් පසුව ඇයට දුරකථන ඇමතුමක් දී පවසා ඇත්තේ තමාට උසාවි රාජකාරියකට යැමට ඇති නිසා රියෑදුරු එවන බවයි.
ඒ අනුව රියෑදුරු ලෙස පෙනී සිට ඇති මෙම පුද්ගලයා ඇය බසයෙන් පුස්‌සැල්ලාව නගරයට කැටුව ගොස් එහිදී ඇය ආපන ශාලාවක නවතා එළියට විත් නැවතත් නීතිඥයකු ලෙස දුරකථන ඇමතුමක් දී පවසා ඇත්තේ ඇය කැටුව පැමිණි රියෑදුරුට රුපියල් දහසක් දෙන ලෙසත් නිවසට පැමිණි පසු එම මුදල් දෙන බවත්ය.
ඒ අනුව ඇගෙන් රුපියල් දහසක්‌ද ලබා ගෙන ඇති මොහු විසින් අරක්‌කු භාගයක්‌ද රැගෙන ඇය සමග රාත්‍රියේම නිවසට යන මුවාවෙන් රම්බොඩ වත්තේ තිබෙන සොහොනකට ගෙනවිත් බලහත්කාරයෙන් එළිවන තුරු නවතා ගෙන ඇය දූෂණය කොට අලුයම ඇයගේ අත්පා බැඳ කරාබු දෙක ඇතුළු රන් භාණ්‌ඩ හා මුදල් රැගෙන පලා ගොස් තිබේ.
ඒ අනුව ඇය මෙම සිද්ධිය පුස්‌සැල්ලාව පොලිසියට පැමිණිලි කොට තිබුණි.
මේ අයුරින් නුවරඑළිය ප්‍රදේශයේ තරුණියක් හා ඇගේ පුංචි අම්මා රැගෙන ගොස් අතවර කර රන් භාණ්‌ඩ හා මුදල් පැහැරගෙන තිබී ඇත.
මුතුර්වල පදිංචි ද්‍රවිඩ පුද්ගලයකු වන මොහු කුඩා කල නුවරඑළිය ප්‍රදේශයේ සිට ඇති නිසා වතු කීපයක කාන්තාවන් මේ ලෙස රවටා දූෂණය කොට රන් භාණ්‌ඩ හා මුදල් කොල්ල කා ඇති බව හෙළි වී තිබේ.
පුස්‌සැල්ලාව රම්බොඩ වත්තේදී දූෂණයට ලක් වූ කාන්තාව දුන් දුරකථන අංකයට අනුව ලබා ගත් දත්ත වාර්තා, හා දමාගොස් තිබූ අරක්‌කු බෝතලයේ ඇඟිලි සටහන් අනුව පොලිසිය මොහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගම්පොල කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී පෙරේරා, ස. පො. අ. චුලනී වීරරත්න, පුස්‌සැල්ලාව පොලිස් ස්‌ථානාධිපති දූෂ්‍යන්ත හේරත් යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ අංශ ස්‌ථානාධිපති එම්. එම්. එච්. එස්. යාලේගම, පො. කො. 36748 සිංහතිලක පො. කො. 49829 කෝලිත යන නිලධාරීහු පරීක්‍ෂණ සිදු කළහ.








