FAST NEWS

24×7 Around the Globe

මේ දවස්වල සීතලෙන් අවදානමක් – වෛද්‍ය කපිල ජයරත්න කියයි…

 

මේ දිනවල ශ්‍රී ලංකාවට බලපා ඇති ශීත කාලගුණික තත්ත්වය අලුත උපන් දරුවන්, ගැබිනි මවුවරුන් හා මහලු අයට අහිතකර ලෙස බලපෑ හැකි බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන්නැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

එම අවදානම් කණ්‌ඩායම් ශරීර උෂ්ණත්වය නියමිත මට්‌ටමක පවත්වාගත හැකි ඇඳුම් පැළඳුම් හා හිස්‌ ආවරණ භාවිත කිරීම, උණුසුම් ආහාර පාන වැඩි වශයෙන් පරිභෝජනය කිරීම, ඛනිජ ලවණ හා විටමින් බහුල ආහාර ගැනීම, මහලු අය, කුඩා දරුවන්, නිධන්ගත රෝගීන් සෙනඟ ගැවසෙන ස්‌ථානවලට යැමෙන් වැළැක්‌වීම, කිවිසුම් යැමේදී සොටු දියර ගැලීමෙන් පිරිසිදු ලේන්සුවක්‌ භාවිත කිරීම හා එය නිවැරදිව ඉවතලීම ද වැදගත්ය.

රෝගවලට වැඩි අවදානමක්‌ ඇති පුද්ගලයන්ට මුඛ ආවරණ පැලඳීම යෝග්‍යය වන අතර නිතර සබන් ගා අත් සේදීමෙන් විෂබීජ ව්‍යාප්ත වීම වළක්‌වා ගත හැකි බව වෛද්‍ය ජයරත්න මහතා පැවැසීය.

ශ්වසන රෝග හා ඉන්ෆ්ලුවන්සා ගණයට අයත් උණ රෝග මෙම කාලයේ බහුල විය හැකි බැවින් කුඩා දරුවන්ට හා මහලු අයට හුස්‌ම ගැනීමේ අපහසුතාවන් පවතී නම් වහා වෛද්‍යවරයකු හමුවීම හෝ රෝහල් වෙත යා යුතු අතර ඇදුම රෝගීන් හා ඉන්ෆ්ලුවන්සා රෝගයට ගොදුරු වීමේ අවදානමක්‌ ඇති ගැබිනි මවුවරුන් ද තම රෝගී තත්ත්වයන් පිළිබඳව වැඩි අවධානයක්‌ යොමුකළ යුතු බව හෙතෙම අවධාරණය කළේය.