FAST NEWS

24×7 Around the Globe

රට සවාරියේ යෑමට බයේ සිටින අගමැතිට මහින්දගෙන් අපූරු පිළිතුරු…

 

වර්තමාන ආණ්ඩුව විසින් අයුතු ලෙස නීත්‍යනුකූල නොවන ආකාරයෙන් පුද්ගලීකරණය කළ දේපල ඒකාබද්ධ විපක්ෂය බලයට පැමිණි පසු පවරා ගැනීමට සිදුවේවි යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපතිගේ දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයේදී නව වසර වෙනුවෙන් සිය රාජකාරී ආරම්භ කරමින් ඊයේ(04) පැවැති උත්සවයට එක් වෙමින් පැවැසීය.

රටට බරක් වන අයුරින් ගන්නා ලද තීරණ නිවැරදි කිරීමේ වගකීමක් බලයට පැමිණෙන ඕනෑම ආණ්ඩුවට පැවැරෙන බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

තමන් ජනාධිපති ධුරය දැරූ සමයේදී රටේ සම්පත් ප‍්‍රමාණය වැඩි කිරීමට පියවර ගත් බවත් ජනතාවගේ සාක්කුවේ සල්ලි තිබූ බවද අද වන විට ජනතාවගේ සාක්කු හිස්වී ඇති බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති,

‘දෙදහස් දාහත වසර කියන්නේ ශී‍්‍ර ලංකාවට ඉතාම තීරණාත්මක වර්ෂයක්. මේ වසරේදී නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට නියමිතයි. එයින් රට දෙකඩ වීමේ අවදානමක් තියෙනවා. ඒ වගේම රාජ්‍ය දේපළ පුද්ගලීකරණය කිරීම, පලිගැනීම් සහ ජීවන වියදම ඉහළ යෑම කියන්නාවූ කරුණු කාරණාවලට අපිට මේ අවුරුද්දේදී මුහුණ දෙන්න වෙනවා.

මේ සියලූම කාරණා අද වෙනකොට ඉහළ පන්තියේ සිට පහළ පන්තිය දක්වා සිටින සියලූමදෙනාට දැඩි ලෙස බලපාන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ තත්ත්වයන් වෙනස් කිරීමට නිසි කාලය උදාවෙලා කියලා අපි විශ්වාස කරනවා.

අපි නව රජයක් පිහිටුවීමට කටයුතු කරමින් ඉන්නවා ඒ සදහා ජනතාව පෙළගස්වමින් ඉන්නවා. හැබයි මම කිසිම වෙලාවක පස්සේ ඉදන් පිහියෙන් අනින්නේ නැහැ. ඒ නිසා අගමැතිවරයාට බයනැතිව රට ගිහින් එන්න පුළුවන්. අපි පෙරලිය කරන්නේ අගමැතුමා මේ රටේ ඉන්න කාලයේදීමයි’