FAST NEWS

24×7 Around the Globe

ජංගම කෘතිම ස්වසන යන්ත්‍රයක් නිපදවූ ලාංකික වෛද්‍යවරයා මෙන්න… (ඡායාරූප)

 

වාට්‌ටුවකදී ශ්වසනය ඇනහිටින රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කරනතුරු කෘත්‍රිම ශ්වසනය ලබාදිය හැකි යන්ත්‍රයක් නිපදවීමට ශ්‍රී ලාංකීය වෛද්‍යවරයකු සමත්ව තිබේ.

මෙතෙක්‌ කිසිවකු නිපදවා නොමැති පහසුකම් සහිත මෙම “ජංගම කෘත්‍රිම ශ්වසන යන්ත්‍රය” නිපදවා ඇත්තේ අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයකු වන වෛද්‍ය දුලාන් සමරවීරයි.

රෝහලකින් රෝහලකට රෝගියකු රැගෙන යැමේදී ගිලන් රථයේ බැටරියට සවිකළ මෙම යන්ත්‍රයකින් කෘත්‍රිමව ශ්වසනය දීමේ හැකියාව ඇති අතර එය නිසි වේලාවට නිසි වාර ගණන (එනම් විනාඩියට වාර 10-12) ස්‌වයංක්‍රීයව රෝගියාට හුස්‌ම ලබාදේ.

දැනට එවැනි අවස්‌ථාවල භාවිත කෙරෙන්නේ බැලුනයක්‌ වැනි උපකරණයක්‌ අතින් මිරිකා හුස්‌ම ලබාදීම නමුත් එක දිගට නොකඩවා හුස්‌ම දිය යුතු නමුත් මෙය පැය ගණන් සිදුකිරීම අපහසු වන අතර පැය 4-5 ක ගමනක්‌ නම් විශේෂයෙන් අනුරාධපුර සිට කොළඹට වරක්‌ යන විට එම උපකරණය සඳහා දෙදෙනකු යෙදවිය යුතුය.

ප්‍රධාන රෝහල් තුළ කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර ඇති නමුත් මේ ආකාරයට ජංගම යන්ත්‍ර යොදා ගැනීම අපහසු වන අතර එම යන්ත්‍ර එකක්‌ රුපියල් ලක්‍ෂ 08-17 පමණ වන බැවින් සෑම රෝහලකම ඒ පහසුකම නොමැත.‍

මෙම නව “ජංගම කෘත්‍රිම ශ්වසන යන්ත්‍රය”ට වැය වුණේ රුපියල් පහළොස්‌ දහසක් බවත් මෙම යන්ත්‍රය නිෂ්පාදනය කොට සියලු රෝහල් සඳහා ලබාදීමට සහ ගිලන් රථවලට සවි කිරීමට හැකි බවත් හෙතෙම සදහන් කලේය.

වෛද්‍ය දුලාන් අනුරාධපුර පදිංචිකරුවකු වන අතර කොළඹ ශාන්ත ජෝෂප් හා රාජකීය විදුහල්වල ආදි ශිෂ්‍යයෙකි.