FAST NEWS

24×7 Around the Globe

විල්පත්තු වනෝද්‍යාන සීමාවේ කිසිදු පරිසර විනාශයක් නෑ – ජනපති සහතික කරයි…

විල්පත්තු ජාතික වනෝද්‍යාන සීමාව තුළ කිසිදු පරිසර විනාශයක් සිදුවී නොමැති බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැක නව වසර සඳහා ආශීර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් පැවසීය.

එසේම ජාතික වනෝද්‍යාන සීමාවට ඔබ්බෙන් යම් පරිසර විනාශයක් සිදුව ඇතැයි පෙන්වා දෙන ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ගද ගෙන ඇති බවත් ස්වාභාවික සම්පත් සංරක්ෂණයට අදාළ රාජ්‍යය වැඩපිළිවෙළ තදින් ක්‍රියාත්මක කර තිබෙන බවත් මෙහිදි සඳහන් කළේය.

තවද වනජීවී, පරිසර, වන සංරක්ෂණ හා වන සම්පත් යන අමාත්‍යාංශවල ලේකම්වරු සහ අධ්‍යක්ෂ ජනරාල්වරු කැඳවා අවශ්‍ය උපදෙස් ලබා දී විල්පත්තු ජාතික වනෝද්‍යාන සීමාව තවත් පුළුල් කොට අලුතින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගත් බව ද ජනපතිවරයා පැවැසීය.

ස්වාභාවික සම්පත් විනාශයන් පිටුපස ජාවාරම්කාර ව්‍යාපාරික පිරිසක් සිටින බව පැවසූ ජනපතිවරයා එවැනි අපරාධ මැඩලීමට ත්‍රිවිධ හමුදාව යොදවා තිබෙන බවද සදහන් කලේය.

විල්පත්තු ඇතුළු සියලු වනාන්තර, නවීන තාක්ෂණය භාවිතා කරමින් ගුවනේ සිට නිරීක්ෂණය කළ හැකි වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පසුගියදා නිවේදනය කළේය.