FAST NEWS

24×7 Around the Globe

2017 දී අනිවාර්යයෙන්ම දරුණු නියඟයක් – ඇමතිවරු සැලසුම් ගැන කියූ හැටි මෙන්න…

 

2017 වසරේ මුල් කාර්තුවේදී ශ්‍රී ලංකාවට බලපාන බව පැ‍වසෙන නියඟය පැමිණීම අනිවාර්ය බවත්, වර්ෂාව ඇතිවන්නේ නම් එය වාසනාවක් බවත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඊයේ(28) පැවැති වැඩමුළුවකදී පැවසීය.

එසේම නියඟය හරහා වී වගාවට මෙන්ම එළවළු වගාවට බලපෑම් එල්ලවනු ඇති බවත්, එයට පිළියමක් වශයෙන් ආහාර ද්‍රව්‍ය පිටරටින් ආනයනය කිරීමට පවා සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසුවේ එම නියඟයට මුහුණදීම සඳහා සාමූහිකව සූදානම් විය යුතු බවත් හා මාධ්‍ය මගින් ඒ සඳහා ජනතාව පෙළගැස්විය යුතු බවද ඔහු කීය.

එසේම වගා කටයුතු සඳහා ජලය බෙදාහැරීම අවම කර ඇත්තේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව ඇතුළු අනෙකුත් අවශ්‍යතා සඳහා ජලය ආරක්ෂා කරගැනීමට බවද ඒ මහතා පවසා සිටියේය.

ජනතාව අරපිරිමැස්මකින් යුතුව විදුලිය භාවිත නොකරන්නේ නම් 2017 වසරේ විදුලි කප්පාදුවක් පවා සිදුවීමට වැඩි ඉඩක් ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා තමන්ට පැවසූ බවද ඇමතිවරයා සඳහන් කළේය.

එසේම 1974 වසරෙන් පසු ශ්‍රී ලංකාවට බලපාන දැරුණුම නියඟය මෙය වනු ඇති බවත්, එයට සාමූහිකව මුහුණදිය යුතු බවත් හෙතෙම පැවැසීය.

මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ අනුර ප්‍රියදර්ශන මහතා පැවසුවේ නියඟයට මුහුණදීම සඳහා ඇතැම්විට විදෙස් ආධාර පවා ඉල්ලීමට සිදුවනු ඇති බවත් හා නියඟයට මුහුණදෙන ආකාරය පිළිබඳ සකස්කළ විශේෂ කැබිනට් පත්‍රිකාවක් එළඹෙන 03 වැනිදා කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්ය.

මෙහිදී මාධ්‍යයට ජනතාව දැනුවත් කිරීම පිළිබඳ සුවිශේෂී කාර්යභාරයක් පවතින බව පෙන්වාදුන් අමාත්‍යවරයා රජයට හා මාධ්‍යයට වෙන්ව යා නොහැකි බවද සඳහන් කළේය.

මාධ්‍ය ආයතන හරහා නියඟයෙන් ජනතාවට සිදුවන අවහිරතා මගහරවාගැනීම සඳහා දිගින් දිගටම වැඩසටහන් සංවිධානය කරන ලෙසත්, දැන්වීම් හා නිවේදන හරහා ජනතාව දැනුවත් කිරීමට පොළඹවන ලෙසත් අමාත්‍යවරු මෙහිදී ඉල්ලා සිටියහ.