FAST NEWS

24×7 Around the Globe

හිටපු අගමැතිගේ අභාවය වෙනුවෙන් අමරවීරගෙන් ශෝක පණිවිඩයක්…

 

දිවංගත හිටපු අගමැතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති මුතුහරෙහි බැඳි අගනා මුතු කැටයක් වී යැයි රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය නිමිත්තෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භයේ පටන්ම ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙක් හා ක්‍රියාකාරිකයෙක් වශයෙන් කටයුතු කළ එමෙන්ම තෙවරක්ම අපේ රටේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වෙමින් රටටත් ජනතාවටත් අනුපමේය සේවාවක් කළ හිටපු අග්‍රාමාත්‍ය දිවංගත රත්නසිරි වික්‍රමනායක මැතිතුමා වියෝවීම පිළිබඳව ප්‍රථමයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශෝකය පළ කරමි.

හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමා සෑම විටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවය, කීර්තිය හා එහි ආඩම්බරය සුරකිමින් කටයුතු කළ කෘතහස්ත දේශපාලනඥයෙකි.

තම පෞද්ගලික ලාභ හා අරමුණු මුදුන්පත් කර ගැනීමේ අදහසින් සමහරුන් කටයුතු කරන යුගයක එතුමා කිසි දිනෙක තම ප්‍රතිපත්තිය පාවා නොදුන්නේය.

විවේචනය කළ යුතු අවස්ථාවේ කවර කාරණයක් වුවද නිර්භයවම එතුමා විවේචනය කළ අතර බුද්ධිගෝචර කවර කාරණයක් වුවද එතුමා නිහතමානීව පිළිගත්තේය.

දිවංගත රත්නසිරි වික්‍රමනායක මැතිඳුන්ට නිවන් සුව අත්වේවායි පතමි!