දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති ප්‍රධානම අභියෝගය දකුණු අප්‍රිකාවේ වේගවත් පන්දුව හා දොලනය බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් දකුණු අප්‍රිකාවේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණ ටෙස්ට්, එක්දින හා විස්සයි20 යන සියලු තරගාවලි ජයගැනීම බවත්, ඒ සඳහා දකුණු අප්‍රිකාවේ තත්ත්වයට හැඩගැසිය යුතු බවත් හෙතෙම පවසා ඇත.
මෙවර තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයන් විදෙස් රටවල ශතක වාර්තා කර තිබුණද ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ පළමු දකුණු අප්‍රිකා සංචාරය මෙය වන බවද මැතිව්ස් සඳහන් කර තිබේ.
එසේම ආබාධයකට ලක්ව සිට තමා මෙන්ම උපනායක දිනේෂ් චන්දිමාල්ද සුව අතට පත්ව ඇති බව පෙන්වා දෙන මැතිව්ස්, තමන් මේ වනවිට පන්දු යැවීම ආරම්භ කර තිබෙන බවද මෙහිදි වැඩි දුරටත් අවධාරණය කර තිබේ.
ශ්‍රී ලංකා හා දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරග ජයක් වාර්තා කර ඇත්තේ 2011 වසරේදී තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙනි.