FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ “නිල්වලා“ කතාවට හිටපු ජනපති චීනයේ සිට දුන් පිළිතුර මෙන්න…

 

පසුගිය ජනාධිපතිවරණයට පෙර දින මාතර නිල්වලා යෝජනා ක්‍රමය වෙනුවෙන් මහා භාණ්‌ඩාගාරය රුපියල් මිලියන 3012 ක චෙක්‌පතක්‌ නිකුත් කර ඇත්නම් වහාම ඒ පිළිබඳව පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා චීනයේ බීජිං නුවර සිට පවසා ඇති බව වාර්තා වේ.

ඉකුත් ජනාධිපතිවරණයේ තීරණාත්මක අවධියේ තමන් අමාත්‍යාංශවල කටයුතු පිළිබඳව අවධානය යොමු නොකළ බව මෙහිදී සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා කවරකු හෝ වගකීම් විරහිත අන්දමින් එවැන්නක්‌ සිදුකර තිබේ නම් කඩිනම් පරීක්‍ෂණයක්‌ මගින් ඒ සියලු තොරතුරු හෙළි කරගෙන ඊට වගකිවයුත්තන් සම්බන්ධයෙන් පියවර ගත යුතු බව ද ඔහු වැඩිදුරටත් පවසන ලදි.

හිටපු ජනාධිපතිවරයා සිය චීන සංචාරය තුළදී මෙම ප්‍රකාශය කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය සෙනසුරාදා (26 දා) ගාල්ලේ පැවැති ශ්‍රීලනිප සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්‌වෙමින් 2015 ජනපතිවරණයට පෙර දිනයේ මහා භාණ්‌ඩාගාරය මිලියන 3012 ක චෙක්‌පතක්‌ නිල්වලා ව්‍යාපෘතියට නිකුත් කර ඇතැයි සිදු කළ අනාවරණය පිළිබඳව අදහස්‌ දක්‌වමිනි.

කවරකු හෝ මෙවැන්නක්‌ කර තිබේ නම් එය කාගේ නියෝගයෙන් සිදු කළේදැයි යන්න අනාවරණය කරගෙන ඒ පිළිබඳව ඉදිරි පියවර ගැනීම රජයේ වගකීමක්‌ බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.