FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ විදුලි දුම්රියේ ගමන් සිහිනය සැබෑ වෙයි…?

 

ශ්‍රී ලංකාවේ විදුලි දුම්රිය පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 312 ක මුදලක් ආයෝජනය කර වසර 05 ක කාලසීමාවක් තුළදී ව්‍යාපෘතිය නිම කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

මෙරට විදුලි දුම්රිය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මහාචාර්ය ආශු මාරසිංහ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ඊයේ (22දා) පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.

විදුලි දුම්රිය ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය මේ වසරේ ජූලි 07 වැනිදා ආරම්භ කළ අතර, අදියර 05 ක් යටතේ ව්‍යාපෘතිය සිදු කිරීමට සැලසුම් කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.

විදුලි දුම්රිය ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකු මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක කරන අතර, පළමු අදියරේ ශක්‍යතා අධ්‍යයනය සිදුකර ඇති බවත් අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී අැති අතර 2030 වසරේ ඇතිවන මගී සංඛ්‍යාව සහ 2030 වසරේ මගී ජනතාවගේ අවශ්‍යතා පිළිබඳ සැලකිල්ලට ගනිමින් විදුලි දුම්රිය ව්‍යාපෘතිය සැලසුම් කළ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

මේ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව, විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පෞද්ගලික සමාගම (LECO), ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය එක්ව තාක්ෂණ කමිටුවක් පත්කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.