FAST NEWS

24×7 Around the Globe

වසර 15ක ටේස්ට් යුගය හෙට පල්ලේකැලෙන් කෙළවරවේ.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් 2000 වසරෙන් පසුව පළමු වතාවට මහේල ජයවර්ධන හෝ කුමාර් සංගක්කාර නොමැතිව හෙට (03දා) ටෙස්ට් තරගයකට එක්වීමට නියමිතය.

සංචාරක පාකිස්තානු කණ්ඩායම හා පල්ලේකැලේ පිටියේදී හෙට ආරම්භවන තෙවැනි ටෙස්ට් තරගයට කුමාර් සංගක්කාර ක්‍රීඩා නොකරන අතර, මහේල ජයවර්ධනද පසුගිය වසරේදී ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගියේය.

2000 ජූලි මාසයෙන් පසුව ටෙස්ට් පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ජයග්‍රහණ පසුපස සංගා හා මහේලගේ දායකත්වය පැවැති අතර හෙට පැවැත්වෙන තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන් දෙදෙනා නොමැතිව තරග කරයි.

පාකිස්තානය හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය මේ වනවිට 1-1 ක් ලෙස සම තත්ත්වයේ පසුවන අතර, හෙට ආරම්භවන තරගය ජයගන්නා කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රහණය හිමිවෙයි.

සංගා වෙනුවට කණ්ඩායමට උපුල් තරංග කැඳවා තිබෙයි. ඇන්ජලෝ මැතිව්ස් හැරෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් පිතිකරුවෙක්වත් ටෙස්ට් තරග 20ට වැඩියෙන් ක්‍රීඩා කර නොමැත. ඒ අනුව හෙට පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගතය පිළිබඳව සුබවාදී පැතිකඩක් නිර්මාණය වන තරගයක් වනු ඇති බව විචාරකයෝ සඳහන් කරති.

සංගා – මහේල සංයෝගය නොමැතිවීම නිසා එම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් පහසු නොවෙනු ඇති බවත් විචාරකයන්ගේ මතයයි.