FAST NEWS

24×7 Around the Globe

2017 අය වැයෙන් වාහනවල මිල අඩු වැඩි වෙන හැටි මෙන්න…

අයවැය බදු සංශෝධන අනුව රථවාහන කිහිපයක මිල ගණන් සංශෝධනය වී ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චගේ මහතා කියා සිටී.

ඒ මහතා කියාසිටින්නේ එංජින් ධාරිතාව දහසක් වන මෝටර් රථවල ඒකක බද්ද 250කින් වැඩිකර ඇති බවයි.

මේ තත්ත්වය මත මරුටි වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 2කින් පමණ ඉහලයන බව ඔහු කියා සිටී.

එංජින් ධාරිතාව 1800 – 2000 අතර හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයක ඒකක බද්ද රුපියල් 300කින් ඉහල දමා ඇති නිසා XL වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 10කින් ඉහල යන බවද ඔහු කියා සිටියේය.

එසේම ත්‍රීරෝද රථ සඳහා කර ඇති බදු සංශෝධන හේතුවෙන් ත්‍රීරෝද රථයක මිල රුපියල් 50,000කින් පමණ ඉහල යා හැකි බවද ඒ මහතා කීය.

විද්‍යුත් මෝටර් රථ බදු පහල හෙළීම හේතුවෙන් ලීෆ් වර්ගයේ මෝටර් රථයක් රැපියල් ලක්ෂ 3ත් 4ත් අතර මුදලකින් පහල යනු ඇති බවද මෙරින්චගේ මහතා සඳහන් කළේය.

ද්විත්ව කාර්ය මෝටර් රථ සඳහා අයකරනු ලබන බදු පහල හෙලමින් එවැනි මෝටර් රථ සඳහා රුපියල් ලක්ෂ 45ක අවම බද්දක් හඳුන්වාදීම හේතුවෙන් හයිඒස් වර්ගයේ වෑන් රථයක අවම මිල රුපියල් ලක්ෂ 45ක් පමණ දක්වා අඩුවන බවද ඔහු කීය.

ඩබල් කැබ් රථ සඳහාද 50%ක අවම බද්ධක් හඳුන්වාදීම ඇති අතර එංජින් ධාරිතාව 1000ට අඩු කුඩා ලොරි රථ සඳහාද රුපියල් ලක්ෂ 10ක අවම බද්දක් මෙවර අයවැයෙන් හඳුන්වාදී ඇතැයි මෙරින්චගේ මහතා කියා සිටියේය.

එසේම ටොන් 5ත් 20ත් අතර ලොරි රථවල අවම අවුරැදු 5ක අවම කාලසීමාව අවුරුදු 10 දක්වා ඉහල දමා ඇතැයිද ඔහු සඳහන් කළේය.