FAST NEWS

24×7 Around the Globe

මංගල ටෙස්ට් තරගයෙන්ම ශතකයක් ලබාගත් සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෝ මෙන්න…

 

ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ටෙස්ට් වරම් හිමිවීම ඔහුගේ ජීවිතයට ඉතාම වාසනාවන්ත අවස්ථාවක් වන අතර කිසියම් ක්‍රීඩකයෙකු සිය මංගල ටෙස්ට් තරගයට සහභාගී වීමට පිටියට පැමිණෙන විට කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් විවිධ ආකාරයෙන් ඔහුට සුබ පැතීම් එක් කරනු ලැබේ.

ඇතැම් අවස්ථාවක එම ක්‍රීඩකයාට පිටියට පැමිණෙන විට ඔහුගේ හිස් ආවරණය හෝ කැප් තොප්පිය කණ්ඩායමේ නායකයා අතින් ලබාදීම සිදුවන අතර එම හිස් වැසුම බොහෝ විට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා අවසාන ටෙස්ට් තරගය ක්‍රීඩාකරන දිනය දක්වාම රැකගැනීමට සහ එය පැළඳ ක්‍රීඩා කිරීමට බොහෝ ක්‍රීඩකයන් කටයුතු කරනු ලැබේ.

ලොව බිහිවූ සුපිරි ක්‍රීඩකයෙකු වූ කුමාර් සංගක්කාර ටෙස්ට් පිටියෙන් සමුගන්නා දා , පැළඳ සිටි හිස්වැසුම තමා සහභාගී වූ මංගල ටෙස්ට් තරගයේදී භාවිතා කල එකම බව එක්තරා අවස්ථාවකදී ප්‍රකාශ කර තිබේ.

මංගල ටෙස්ට් තරගයේදී තමා දක්වන දක්ෂතා ද සෑම ක්‍රීඩකයෙකුටම සිය අනාගතය සඳහා අතිශ්‍ය ප්‍රයෝජනවත් වන අතර විටෙක එය ක්‍රීඩකයෙකුට ආශිර්වාදයක් වේ.

තමා සහභාගී වන මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගැනීමට හැකිවීම එම ක්‍රීඩකයාට පමණක් නොව ඔහුගේ රටට, කණ්ඩායමට සහ ප්‍රතිවාදී කණ්ඩායමටද අතිශ්‍ය වැදගත් සිදුවීමක් වේ.

තමා සහභාගී වූ මංගල තරගයේදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් මුලින්ම ශතකයක් වාර්තා කළේ බ්‍රෙන්ඩන් කුරුප්පු වන අතර ඒ 1987 වසරේදී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව කොළඹදීය.

එදා බ්‍රෙන්ඩන් කුරුප්පු නොදැවී ලකුණු 201ක් වාර්තා කර තිබේ.

මංගල තරගයේදීම ශතකයක් වාර්තා කළ දෙවැන්නා වන්නේ 1992 වසරේදි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ රොමේෂ් කලුවිතාරණයි.

කොළඹ පැවති එම තරගයේදී කලුවිතාරණ නොදැවී ලකුණු 132 වාර්තා කර තිබේ.

එයින් වසර 09කට පසු තිලාන් සමරවීර 2001 වසරේදී ඉන්දියාවට එරෙහිව කොළඹදීම සිය මංගල ටෙස්ට් තරගයේදී තවත් ශතකයක් වාර්තා කර තිබේ.

ඊයේ(07) සිම්බාබ්වේහී පැවති ටෙස්ට් තරගයේදී අසේල ගුණරත්නද සිම්බාබ්වේට එරෙහිව ලකුණු 127ක් රැස් කරමින් ශතකයක් වාර්තා කර තිබේ.

මෙම සිම්බාබ්වේ සංචාරය වෙනුවෙන් අසේල ගුණරත්න ටෙස්ට් වරම් දිනාගත් අතර  ඔහු සහභාගී වූ මංගල තරගය වූ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් තරගයේදීම ඔහු අර්ධ ශතකයක් වාර්තා කර තිබේ.

ඊයේ(07) ඔහු සහභාගී වූයේ සිය දෙවන තරගයට වන අතර ඔහු මෙම තරගයේදී වාර්තා කළ ශතකය වඩාත් වැදගත් වන්නේ මංගල තරග සංචාරයකදී ශ්‍රී ලංකාවෙන් පිටත ක්‍රීඩාංගනයකදී අසේල ගුණරත්න මෙම දක්ෂතාවය දැක්වූ නිසයි.

ඒ අනුව තිලාන් සමරවීර 2001 වසරේදී සිය මංගල තරගයේදී ටෙස්ට් ශතකය වාර්තා කිරීමෙන් පසු වසර 15ක් ගත වී ඇතත් කිසිඳු ශ්‍රී ලාංකික නවක ක්‍රීඩකයෙකුට සිය මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කිරීමට හැකි වී නොමැත.

ඒ අනුව අසේල ගුණරත්න සිය මංගල තරග සංචාරයේදී තම දෙවන තරගයෙන්ම ඊයේ(07) වාර්තා කළ ශතකය ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන්ට ප්‍රබොධය ගෙන එන්නක් බව කිව යුතුමය.