FAST NEWS

24×7 Around the Globe

ගෝඨාව ගෙන්න මිලින්ද චීනය සමග එක්ව සිදු කරන මෙහෙයුමට හවුල් වූ ඇමතිවරු මෙන්න…

 

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව දේශපාලන කරළිය තුළ ස්ථාවර කිරීම සඳහා චීන රජය සමග සමීප සම්බන්ධතාවයක් පවත්වන ‘ෆයින්ඩර්’ ආයතනය හරහා ගෙන යන වැඩ පිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව හෙළිදරව් වී තිබේ.

පසුගිය පළමු වන දා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ‘කලම්බු ක්ලබ්’ හිදී මිලින්ද මොරගොඩ මහතා සහ වත්මන් රජයේ ඇමැතිවරුන් දෙපළක් වන ෆයිසර් මුස්තාපා සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන සමඟ පැවැති සාකච්ඡාව මෙම වුවමනාව වෙනුවෙන් පැවැත්වූවක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

විශේෂයෙන්ම මේ වන විට ශ්‍රීලනිපය හා එජාපය අතර මතු වෙමින් පවතින දේශපාලන අර්බුදය සූක්ෂමව කළමනාකරණය කර චීනයේ සහාය ඇතිව ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සහ එහි දී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියට ගැනීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී ඇතැයිද අනාවරණය වී තිබේ.

මිලින්ද මොරගොඩ මහතා සභාපතීත්වය දරන පාත් ෆයින්ඩර් ආයතන චීනයේ CICIR (China Institutes of ontemporary International Relations) ආයතනය සමඟ අවබෝධතාවකට එළෙඹෙමින් මෙරට දේශපාලනය කළමනාකරණය කිරීම මෙහෙයුමකට සම්බන්ධව සිටින බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාව ශ්‍රීලනිපයේ 2020 ජනාධිපති හෝ අගමැති අපේක්ෂකයා කිරීමේ මෙහෙයුමක සිටින බවත් ‘සත්හඬ’ පුවත්පත විසින් පසුගිය ජූලි මාසයේ දී අනාවරණය කර තිබේ.

මෙම ආයතනය චීනයේ විදේශ ප්‍රතිපත්ති සැකසීම වෙනුවෙන් වඩාත්ම බලපෑම් සහගත ආයතනයක් ලෙස සැලකෙන අතර චීන පාලක පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බුද්ධි මණ්ඩලයකි.

මෙහි ප්‍රධාන දෙපාර්තමේන්තු 11 යටතේ චීනයේ ජාතික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විශ්ලේෂණ සහ නිර්දේශ සිදු කිරීම කරනු ලබයි.

මෙය චීනයේ ආරක්ෂක අමාත්‍යාංශය සහ විදේශ අමාත්‍යාංශය සමඟ සෘජුව සම්බන්ධිත ආයතනයක් වන අතර මේ ආයතන බිහි කිරීම ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධයෙන් චීනයේ බුද්ධි අංශවල වුවමනාවක් අනුව සිදු කෙරුණක් ද වන බව පැවසේ.

සිරස රූපවාහිනී ජාලයේ අධිපති කිලී මහරාජා මහතාගේ අතිශය සමීපතම මිතුරකු වන මිලින්ද මොරගොඩ මහතා හා පසුගිය දා සාකච්ඡාවට එක් වූ ඇමැති දෙපළ ද කිලී මහරාජාගේ මිතුරන් ලෙස සැලකෙන දෙපළකි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක වන සිරස මාධ්‍ය ජාලය පවතින සම්මුතික ආණ්ඩුව බිඳ දැමිම සඳහා දැනුවත්ව ක්‍රියා කරමින් සිටින බවට දේශපාලන විචාරකයෝ පෙන්වා දී තිබේ.