FAST NEWS

24×7 Around the Globe

මහින්දගේ උපන්දිනය දා අලුත් පක්ෂයේ එළිදැක්වීමක් නෑ…?

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය යෙදෙන මේ මස 18 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පක්ෂය එළිදැක්වීමේ උත්සවයක් සංවිධානය කර නැතැයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා  පවසා තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ උපන් දිනය සමරා නොවැම්බර් 19 වැනිදා අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අසලදී ආගමික වතාවත්වල යෙදීමට හිටපු ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බවද  ඔහු සදහන් කර තිබේ.

මෙම උත්සවයේ සංවිධාන කටයුතුවල යෙදෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතා සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයාගේ උපන් දිනය සමරා වෙනත් වසර වලදී නොවැම්බර් 18 වැනිදා මෙම ආගමික උත්සවය පැවැත්වුවද, අයවැය විවාදයේ ඡන්ද විමසීමක් එදිනට පැවැත්වෙන බැවින් නොවැම්බර් 19 වැනිදා මෙම උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

මෙම ආගමික වතාවත් පැවැත්වෙන අවස්ථාවට මහාසංඝරත්නය සහ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් සහභාගි වීමට නියමිත බවද ඔහු පවසා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහා නිල වශයෙන් සාමාජිකයන් බඳවා ගැනීමක් එදින සිදු නොකරන බව පැවසූ ඒ මහතා මේ දිනවල එම පක්ෂයට සාමාජිකයන් බඳවා ගැනීමේ කටයුතු සිදු වන බවද පවසා තිබේ.