FAST NEWS

24×7 Around the Globe

නිර්මාංශ අය ගත යුතු ආහාර මෙන්න..

ශිෂ්ටාචාරගත වීමට පෙර මිනිසාගේ ප්‍රධාන ආහාරය වූයේ මාංශ වර්ගය. හමුවන සතුන් දඩයම් කරමින් ආහාරයට ගැනීම මිනිසාගේ පුරුද්දක් විය. එය ලෝකයේ කුමන දිසාවකට ගියත් ‍පොදුය.

ගොඩබිම හෝ ජලයේ වාසය කරන සතුන් ආහාරය පිණිස යොදා ගත් අවස්ථා ලංකාවේද පුරාවිද්‍යාත්මක සාක්ෂි තිබේ. නමුත් කල්යත්ම  දඩයම් කිරීම අත්හැර ආහාරය පිණිස තෝරා ගත් සත්ව වර්ග ඇති කිරීම සිදු විය.

මිනිසා ශිෂ්ට සම්පන්න භාවයට පත්වන්නට වන්නට වෙනත් කෘෂි භෝග මිස මාංශ අනුභවය ප්‍රධාන ආහාර වේල බවට පත් නොවූයේය.

භාරතය මුල් කරගත් පෙරදිග දර්ශනය හා විවිධ ආගමික ශාස්තෘවරුන්ගේ මැදහත් වීම මත මාංශ අනුභවයෙන් මිනිසා ඈත් වන්නට පටන් ගත්තේ විශේෂයෙන් ප්‍රාණඝාතය  අකුසලය නිසාවෙනි. අවිහිංසාවාදී ජීවන රටාව නිසාත් මිනිසා මාංශ අනුභවයෙන් ඈත් වන්නට විය.

පසුකාලයේදී මාංශ අනුභවය පිළිබඳ විවිධ මතවාද පැතිරුණත් වර්තමානය වන විට බාල තරුණ මහලු බොහෝ පිරිස් නිර්මාංශ වී සිටිති. මාංශ අනුභවයේ හොඳ නරක  දෙකම  ඇත. විශේෂයෙන් වර්තමානය වන විට බෝ නොවන රෝග වන ආන්ත්‍රික පිළිකා, රුධිරගත මේදය වැනි රෝගවලට ජුව මාංශ වර්ග බලපානවා යන්න බොහෝ විද්වතුන්ගේ මතය වේ.

රුධිරගත මේදය ඇති රෝගීන්ට මෙන්ම හදවත් රෝගීන්ටද මාංශ වර්ග  නිර්දේශ නොකෙරෙයි. දේශීය වෛද්‍යක්‍රමයේදී සමහර ඖෂධ වර්ග සෑදීමට මාංශ වර්ග යොදා ගත්තත් සුදු කබර වැනි චර්ම රෝග ඇති අයට මෙන්ම කාමලාව, උණ වැනි රෝග ඇතිවූ අවස්ථාවලදී ද මස් මාළු අනුභවයෙන් වැළකී සිටින්නැයි වෛද්‍යවරු නිර්දේශ කරති.

මේ කෙසේ වෙතත් ලෝකයේ බොහෝ රටවල වාසය කරන්නන්ට මාංශ අනුභවය නතර කළ නොහැකි වී ඇත. ඊට හේතුව පවතින දේශගුණික තත්ත්වයයි. බොහෝ ශීත රටවල ජීවත් වන අයට ශරීර උෂ්ණත්වය රඳා පවත්වා ගැනීම සඳහා මාංශ ආහාර වැදගත් වේ. නමුත් ඝර්ම කාලපීය ජනතාවට එසේම විය යුතුද යන්න ගැටලුවකි.

අප ආහාර ගන්නේ හුදෙක් කුස පුරවා ජීවත් වීමට පමණක් නොවේ. ආහාර මගින් ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන අරමුණු මුදුන්පත් කර ගැනීමෙන්  ශරීරයට ඇවැසි මනා ‍පෝෂක මෙන්ම ක්ෂුද්‍ර ‍පෝෂකද ශාක හා මාංශ ආහාරවලින් ද ලබා ගත හැකිය.

මහා ‍පෝෂක යනු කාබෝහයිඩ්‍රෙට්” ‍ප්‍රෝටීන් හා ලිපිඩ වේ. මේවා තරමක් වැඩියෙන් ශරීරයට අත්‍යවශ්‍ය වේ. නමුත් ක්ෂුද්‍ර ‍පෝෂක ලෙස හඳුන්වන විටමින්, ඛනිජ ලවණ ආදිය ප්‍රමාණාත්මකව අඩුවෙන් අවශ්‍ය ව්.

සාම්ප්‍රදායිකව අප ජනතාව මේවා ලබා ගන්නේ කෙසේද යන්න විමසා බැලිය යුතු කාරණයක් වේ. බෞද්ධාගමික පරිසරයක් මත ගොඩනැගුණු ලාංකීය ජනතාව කෘෂිකාර්මික ජීවන රටාවකට ඈත අතීතයේ සිට උරුමකම් කීහ. විජයාවතරණයට පෙර සිටම මෙහි වැසියා ධාන්‍ය වර්ග ආහාරයට ගත් බව සිතිය හැක්කේ විජය ඇතුළු පිරිසට කුවේණිය විසින් ධාන්‍යය වර්ග දුන් බව ජනප්‍රවාදයේ සඳහන් වන හෙයිනි.

කෙසේ වෙතත් බෞද්ධ හා හින්දු බලපෑම් මත ජනතාව මාංශ අනුභවයෙන්  ඈත්ව සිටී. විශේෂයෙන් එකල රට පාලනය කළ රජවරුන් කෘෂිකර්මාන්තයට මුල් තැනක් දුන් බව ඉතිහාසය සාක්ෂි දරයි. මස් මාංශ අතර ගවමස් කෑම නීච ක්‍රියාවක් ලෙස එකල හඳුන්වා තිබිණි. එසේ නම්  ශාකමය ආහාර හා වෙනත් ආහාර වර්ග සංස්කරණය පිළිබඳව විමසීමක් කළ යුතුව ඇත.

අප ඉහතදී සාකච්ඡා කළ ශරීරයට ඇවැසි ‍පෝෂක මහා ‍පෝෂක හා ක්ෂුද්‍ර ‍පෝෂක ලෙස හැඳින්වුවත් ආයුර්වේදයේ දී ආහාර විශේෂයෙන් රස අනුව වර්ග කර තිබේ. එනම් මධුර, අම්ල, ලවණ, කටුක, තිත්ත, කෂාය වශයෙන් වේ.

අප ගන්නා සෑම ආහාරයකම මෙම රස 6ට අනුව බෙදා වෙන්කළ හැකිය. මෙම රසයන්ගෙන් යුත් ආහාර සමබරව ගතයුතු බව ආයුර්වේදයේ සඳහන් වේ. රසයන්ගෙන් යුතු ආහාර අඩුවැඩි වශයෙන් ගත් කළ ශරීරයේ නොයෙකුත් උපද්‍රව හට ගැනීමට ඉඩ ඇත. එහිදී මෙම රසයන්ගෙන් යුක්ත ආහාර බොහෝ විට ශාක ආහාර වශයෙන් ද දක්වා ඇත.

ආහාර ගැනීමේදී මෙම ‍පෝෂණ අවශ්‍යතා ලබා ගැනීම සඳහා හුදු තුන් වේලට බත් පමණක් ගත යුතු නැත. ප්‍රධාන ආහාර වේලට අමතරව පලතුරු හා විවිධ ධාන්‍ය පිටිවලින් කරන ලද රසකැවිලි ආහාරයට ගන්නා නමුත් ‍පොදුවේ ගත් කළ නිර්මාංශ ආහාර වේලකදී එය කෙසේ සමබර විය යුතුදැයි අප දැන ගත යුතුය. ඉහත සඳහන් කළ ක්ෂුද්‍ර ‍පෝෂක හා මහා ‍පෝෂකයන් අපට අවශ්‍ය වනුයේ ශරීර ශක්තියට අස්ථි හා මාංශ වර්ධනයට, ප්‍රතිශක්තිකරණයට මෙන්ම නිරෝගීව ජීවත්වීමටය. එසේ නම් එම ආහාර ශාකමය වශයෙන් ලබා ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුය. අප නිර්මාංශ වූ පමණින් නිවැරදි දැක්මක් නොමැතිව ශාකමය ආහාර ගැනීම ඵල රහිතය. එම ශාකමය ආහාරවල ප්‍රභවය (වගා කරන අන්දම) මෙන්ම සකස්කරන විධියද ඉතා වැදගත් වේ. වර්තමානයේ මාංශ වර්ග වෙළෙඳ‍පොළට සපයනුයේ වාණිජව කරනු ලබන සත්ත්ව පාලනය මගිනි. එම සත්වයන් ඇති කරද්දී ඔවුනට ලබාදෙන ආහාර මෙන්ම ඖෂධ වර්ග හොර්මෝන ආදිය නිසා මිනිසාට රෝග වැඩිවීමට ඉඩ ඇති බැවිනි. සැබැවින්ම එවැනි ආහාරවලින් වැළකී නිර්මාංශ වීම නම් කාලෝචිත වේ.

අපට ආහාරවලින් ලැබෙන්නාවූ ඉහත සඳහන් කළ ‍පෝෂක විධිමත් ලෙස කළමනාකරණය වූ ආහාර වට්ටෝරුවකින් ලබා ගත හැකිවේ. අල බතල, කොස් ආදිය මෙන්ම බත් කුරහන් ආහාරයට ගැනීමෙන් ශරීර ශක්තියට අවශ්‍ය බොහෝ ‍පෝෂක සංඝටකයන් ලබා ගත හැකිය. විශේෂයෙන් ආයුර්වේදයේදී මධුර ආහාර ලෙස සැලකෙන මෙම ආහාර සමග අනෙකුත් ආහාර වර්ග කිහිපයක් ගැනීමෙන් ශිරීරයට ඇවැසි ‍පෝෂක සංඝටකයන් ලබා ගත හැකිය. බත් සමග වෙනත් එළවළු ලෙස බොහෝ විට මෑ වර්ග, කව්පි, මුංඇට, දඹල වැනි ආහාර වර්ගවලින් එකක් හෝ කිහිපයක් එක් ආහාර වේලකට එක්කර ගැනීමෙන් මහා ‍පෝෂකවල යම් සමබරතාවක් ඇතිකර ගත හැකිවේ.  ආහාර ගැනීමේදී බත සමග සැලකිය යුතු ප්‍රමාණයක් එළවළු ව්‍යාංජන ගත යුතුය. ඉහත සඳහන් කළ මෑ, මුං, කව්පි, දඹල වැනි ආහාර ගැනීමෙන් ශරීරයට අවශ්‍ය ක්ෂුද්‍ර හා මහා ‍පෝෂක බොහෝමයක් ලබා ගත හැකිවේ. දඹල, කව්පි, උදු, මුං ඇට ආදිය  ගුණාත්මක ආහරය. තවද අමු රටකජු ව්‍යාංජන ලෙස සකසා ආහාරයට ගැනීමද නිර්මාංශ අයට ඉතාමත් යහපත් වේ.

කොළ පලා අතරින් ගුණාත්මක බව වඩාත් වැඩි යැයි පැවසෙන්නේ කතුරු මුරුංගාය. ශරීරයට අවශ්‍ය වන සියලුම ‍පෝෂණ සංඝටකයන් මෙම කතුරු මුරුංගාවල අන්තර්ගතව ඇත. සැබැවින් නිර්මාංශ අයට කතුරු මුරුංගා පලාවක් ලෙස හෝ ව්‍යංජනයක් ලෙස ගැනීම ඉතාමත් යහපත් වේ. මෙහිදී කතුරුමුරුංගා සම්බෝලය, මැල්ලුම මෙන්ම කිරට ඉවීම ද කළ හැකිය. කතුරු මුරුංගා මැල්ලුමට වඩා කිරට ඉවීමෙන් එහි තැන්පත් කොටස් ආරක්ෂා කර ගැනීමට හැකියාවක් ඇත. තවද ගැඹුරු තෙ‍ලේ බැද ගැනීමද කළ හැකිවේ.

බොහෝ පලාවන් මැල්ලුමට වඩා සම්බෝලයක් ලෙස ගැනීමෙන්  හෝ මිටිකිරෙන් තම්බා ගැනීමෙන් ‍පෝෂණීය අගය වැඩි කර ගත හැකිය. උදාහරණයක් ලෙස ශරීරයට අවශ්‍ය යකඩ ලබා ගැනීම සඳහා ගොටුකොළ සම්බෝලය සැකසීමේදී දෙහි දැමීම අනිවාර්ය වේ. නැතිනම් එහි අඩංගු වන යකඩ ශරීරයට අවශෝෂණය කර ගැනීමට නොහැකිවේ. පිළිවෙළින් රත් තම්පලා සහ මුඟුණුවැන්න යකඩ අඩංගු තවත් පලා වර්ග වේ. නිර්මාංශ අයගේ රක්ත හීනතාවය වළක්වාලීම සඳහා එයට අමතරව මදටිය දලු මැල්ලුමද ඉතා අගනේය. අප මැල්ලුම් සකස් කරද්දී තෙල් එකතු කිරීම අනිවාර්ය වේ. මැල්ලුම, සම්බෝලයට ‍පොල් එකතු කිරීමෙන් අන්තිමේදී එහි ඇති ගුණයන්ට ඇතිවන හානිය අවම කර ගත හැකිය.

එළවළු ව්‍යංජන සැකසීමේදී තෝරා ගත් එළවළු කිහිපයක් නිර්මාංශ අයට වැදගත්වේ. විශේෂයෙන් වම්බටු, හේන් වට්ටක්කා, බටු, තිබ්බටු, අළුකෙසෙල්, බණ්ඩක්කා වැනි ආහාර ගැනීම වැදගත්වේ. වම්බටුවල කිකිළි බිත්තරවල ගුණ අඩංගු බව පරාර්ය සංග්‍රහයේ සඳහන් වේ. සමහර එළවළු වර්ග මිරිසටත් බොහෝ එළවළු වර්ග කිරට හෝ තෙලටත් පිසිනු ලබයි. ‍පොල්කිරෙන් ඉවීම නිසා ‍පෝෂණ සංඝටකයන්වලට වන හානිය අවම වේ. කැකිරි, වට්ටක්කා වැනි ආහාර ඉවීමේදී හාල්, ‍පොල් අඹරා දැමීමන් එහි රසය මෙන්ම ගුණාත්මක භාවය ද ආරක්ෂා කර ගත හැකිය. කොහිල දලු, මඩු දල වැනි ආහාර ඉවීමේදී ගොරක දැමීමෙන්් එහි ඇති සමහර ‍පෝෂණ කොටස් ශරීරයට අවශෝෂණය කර ගැනීමට හැකියාව ඇත. මේ ආදී වශයෙන් ආහාර සංස්කරණ ක්‍රමවේද භාවිතයෙන් ආහාරයේ ඇති ගුණාත්මක භාවය ආරක්ෂා කර ගත හැකිවේ.

ශරීරයට අත්‍යවශ්‍ය වන තෙල් සහිත ආහාර ප්‍රධාන වශයෙන් අප ලබා ගනුයේ ‍පොල් මගිනි. නමුත් එයට අමතරව කජු, තල, රටකජු, බැදිදෙල් ඇට, මී ඇට ආදිය භාවිත කළ හැකිය. විශේෂයෙන් තල මිශ්‍ර රසකැවිලි, රටකජු, කජු ආදිය අමතර ගැනීම නිර්මාංශී අයට වඩාත් ප්‍රයෝජනවත් වේ. පැරණි ගැමියෝ බැදිදෙල් ඇට හා පැසුණු මී ඇටවලින් රසවත් ව්‍යාංජන සකසා ගත්හ. එය ‍පෝෂණීය අගයෙන් යුත් ආහාරයක් විය.

විශේෂයෙන් දේශීය අල වර්ගවලින් සාදන ලද විවිධ ආහාර මෙන්ම වේල සරිකර ගැනීමට ඔවුහු පුරුදුව සිටියහ. අර්තාපල්වලට වඩා බතල, මඤ්ඤාක්කා, කිරිඅල, රාජඅල, දන්දිල ආදී අල වර්ග වලින් ශරීරයට අවශ්‍ය ශක්තිය සමගම වෙනත් ‍පෝෂ්‍ය සංඝටකයන්ද ලබා ගත හැකි වේ.

මාංශ වර්ග ආහාරයට නොගන්නා අය පලතුරු අනුභව කිරීම ඉතා වැදගත් වේ. විදේශීය පලතුරුවලට වඩා නෙල්ලි, අලිපේර, පැ‍පොල්, අන්නාසි, කෙසෙල්, අඹ, දිවුල්, බෙලි වැනි පලතුරු ගැනීමෙන් නිරෝගී භාවය ආරක්ෂා කර ගත හැකිය.

නිර්මාංශ වීම හේතු කොට ගෙන ශරීරයට බොහෝ දැ ලැබෙන බව කිව යුතුය. විශේෂයෙන් මානසික සහනය ඇතිවීම, මල බද්ධය දුරුවීම ආන්ත්‍රික පිළිකාවලින් ඈත්වීම හෘද රෝගවලින්, ඈත් වීම, කොලොස්ටරෝල් වැනි රෝගවලින් මිදීම ආදී බොහෝ වාසි සැලසෙන්නේය. ඒ තබා අප පරිසරයේ ජීවත් වන තවත් සතෙුකට ජීවත් වීමේ අයිතිය ලැබෙන්නේය.

නිවැරදි ආකාරයෙන් ‍පෝෂණ තත්ත්වයන් වටහා ගෙන නිර්මාංශ කෙරෙහි යොමු වන්නේ නම් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ඇති ජීවිතයක් ගත කිරීමට වාසනාව හිමි වන්නේය.