FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා තරගයෙන් පසුව සිම්බාබ්වේ නායක ක්‍රිමර් තමාටම බැණ ගනිමින් කියු දේ මෙන්න…

 

ශ්‍රී ලංකාව හමුවේ ටෙස්‌ට්‌ තරගය පරාජය වීමත් සමග තමා තමාටම බැණ වැදුණ බව සිම්බාබ්වේ නායක ග්‍රෑම් ක්‍රිමර් අවධාරණය කර තිබේ.

”තරගය පැරදුණාට පස්‌සේ මම මටම බැණ ගත්තා” යැයි පවසන ක්‍රිමර් වැඩිදුරටත් මෙසේ අදහස්‌ දක්‌වා තිබේ.

”අවම වශයෙන් කාල්(මුම්බා) හෝ ක්‍රිස්‌ (මොමු) දැවී යන අවස්‌ථාවෙදී මම කඩුල්ලේ රැඳී සිටියා නම් මීට වඩා හොඳ තත්වයකට තරගය රැගෙන එන්න තිබුණා. මම හිතන්නේ මගේ දැවී යෑම තමයි මේ තරගය අපි පරාජය වීමට හැරවුම් ලක්‌ෂය වුණේ”

තරගය නිමා වීමට අවසන් පන්දුවාර 10 ක්‍රියාත්මක වෙද්දී ග්‍රැම් ක්‍රිමර් හේරත්ගේ පන්දුවක්‌ හමුවේ දැවී ගිය අතර ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු වීමේදී සිම්බාබ්වේ ඉනිමේ අවසන් පිතිකරුවා වූ මොමු තරගය නිමා වීමට පන්දුවාර 7 ක්‌ තිබියදී දැවී යාමට ලක්ව තිබේ.

මෙම තරග පරාජය සිම්බාබ්වේහි 100 වැනි ටෙස්‌ට්‌ තරග පරාජය ලෙසින් සටහන් වුණ අතර පරාජිත කණ්‌ඩායමේ නායකයා වූ ග්‍රැම් ක්‍රිමර් තුන් ඉරියව්වෙන් දක්‌වන ලද දක්‌ෂතා හේතුවෙන් තරගයේ වීරයා සම්මානයෙන්ද හෙතෙම පිදුම් ලබා තිබේ.

”ඇත්තටම තරගය නිමා වීමට පන්දුවාර අඩු සංඛ්‍යාවක්‌ තිබියදී පරාජයට පත්වීම ගැන දැඩි කනස්‌සල්ලට පත්වුණා. නමුත් මේ තරගයේදී ධනාත්මක දේවල් විශාල ප්‍රමාණයක්‌ තමා ඇතුලු කණ්‌ඩායමට එකතු කර ගැනීමට හැකි වුණා. ශ්‍රී ලංකාව කියන්නේ හොඳ කණ්‌ඩායමක්‌. ඒ වගේ කණ්‌ඩායමකට එරෙහිව ලකුණු වාර්තා කරනවා කියන්නේ සතුටට කරුණක්‌. විශේෂයෙන්ම ඔවුන් අපහසුතාවයට පත් කරමින්. නමුත් මම හිතන්නේ අපි දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්‌ෂතාවලට සාපේක්‌ෂව හොඳින් පන්දුවට පහර දුන්නේ නෑ කියලයි”යැයි ක්‍රිමර් පවසා තිබේ.