FAST NEWS

24×7 Around the Globe

කෘත්‍රිම බුද්ධි රොබෝවෙක් ඇමෙරිකාවේ මීළග ජනාධිපති කවුදැයි හෙළි කරයි…

 

ලබන නොවැම්බර් 8 වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අන්තර්ජාල පරිශීලනය කරන කෘත්‍රිම බුද්ධි රොබෝවරයකු සහ රොබෝ පද්ධතියක් පෙරේදා (29) අනාවැකි පළ කළ අතර, එම අනාවැකි අනුව ජනපතිවරණයෙන් නිසැකවම ජය හිමි වන්නේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ටය.

‘මෝග්ලි’ නමැති මෙම කෘත්‍රිම බුද්ධි රොබෝ පද්ධතිය ජෙනික් ඒ.අයි. සමාගමේ සංජීව් රායි නමැති ඉන්දියානු සම්භවයක් ඇති පරිගණක තාක්ෂණ ශිලිපියකුගේ නිර්මාණයක් වේ.

ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ ජාල පරිශීලනය කිරීම ද ‘මෝග්ලි’ රොබෝ පද්ධතිය විසින් සිදු කරන අතර ‘මෝග්ලි’ සිය අනාවැකිය පළ කර ඇත්තේ අන්තර්ජාල පරිශීලණය කරන පුද්ගලයන්ගේ අදහස් විශ්ලේෂණය කිරීමෙන් පසුව යැයි ද වාර්තා වේ.

‘මෝග්ලි’ රොබෝ පද්ධතිය ඉදිරිපත් කළ අනාවැකිය නම්, 2008 වසරේ දී ඇමෙරිකාවේ පළමු කළු ජාතික ජනපති ලෙස බැරැක් ඔබාමා කවුරුත් පුද්මයට පත් කරමින් ජනාධිපති වූවා සේම, ඩිමොක්‍රටික් පාක්ෂික හිලරි ක්ලින්ටන් පරදා ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ගනු ඇති බවය.

හිලරි ක්ලින්ටන් ද අර්බුධයකට මුහුණ දී සිටින අතර ඇය එසේ අර්බුධයකට පත්ව ඇත්තේ 2008 වසරේදී ඔබාමාගේ රජයේ රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කරද්දී, රාජ්‍ය රහස් ඇතුළත් ඊ මේල් ඇගේ පුද්ගලික ඊ මේල් ලිපියනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙනි.

මේ බව ප්‍රසිද්ධියට පත් වූයේ පරිගණක දත්ත සොරකු (හැකර්වරයකු) හිලරිගේ ඊමේල් ගිණුමට හොරෙන් ඇතුළු වී, එම රහස් ඊ මේල් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසුවය.

රජයේ රහස් ඊ මේල් තම පුද්ගලික ඊ මේල් ලිපිනයට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකන් එෆ්.බී.අයි. පරීක්ෂණ ආයතනය විශේෂ පරීක්ෂණයක් ද සිදු කරමින් සිටින බව වාර්තා වේ.

එම පරීක්ෂණ හේතුවෙන් පසුගියදා එම ඊ මේල් සිද්ධිය යළිත් වරක් අලුත් වූ අතර මෙය හිලරිගේ දැඩි දෝෂ දර්ශණයට ද හේතුවක් වී තිබේ.

එය හිලරිට ලොකු අවාසියක් වන බව ඇමෙරිකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන සිදු කර ඇති සමීක්ෂණවලින් හෙළිව ඇති අතර ඇතැම් මාධ්‍ය ආයතන පෙන්වා දී ඇත්තේ අපේක්ෂකයන් දෙදෙනා අතරේ කරටකර සටනක් පවතිනු ඇති බවය.