FAST NEWS

24×7 Around the Globe

තිස්සව හිරේට දැමූ සැබෑ හේතුව හෙළි කරමින් ගම්මන්පිල කරන ප්‍රකාශය මෙන්න…

 

කූට ලේඛන සකස් කළ බවට චෝදනා ලැබූ තිස්ස අත්තනායක අද ඇතුළේ බවත් එම ලේඛනයේ තිබූ වගන්ති ඉටු කරමින් ජාතිවාදය වපුරමින් සිටින උතුරේ මහ ඇමැති විග්නේශ්වරන් එළියේ බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසා තිබේ.

”දැන් තිස්ස අත්තනායක මන්ත්‍රිතුමා ආයෙත් අත්අඩංගුවේ. මුසම්මිල් මන්ත්‍රිතුමයි මමයි කතා වුණා, තිස්ස අත්තනායක මැතිතුමාගේ දෙවැනි වටය පටන් ගත්තා. අපිටත් යළිත් මැගසින් බන්ධනාගාරයේදී හමුවෙන්න වෙයි නේද කියලා. අපි ඒකට ලෑස්තියි. දෙවැනි වටෙත් යන්න ලෑස්තියි. හැබැයි අපි කියනවා තුන්වැනි වටයේදී ඔය අපිව ඇතුළට දාන සැබෑ කම්බ හොරුන්ව ඇතුළට දාන්න අපි ආණ්ඩු බලය ලබා ගන්නත් ලෑස්තියි. මේ ආණ්ඩුවේ දැන් දින නියම වෙලා ඉවරයි.

අද උතුර කොටියා අත්කරගනිමින් ඉන්නවා. එදා තිස්ස අත්තනායක ගෙනල්ලා පෙන්නුව ගිවිසුම බොරුවක් කියලයි එතුමව ඇතුළට දැම්මේ. නමුත් ඒ කරුණු අද එකිනෙක සිදු වෙනවා. කොටි ත්‍රස්තයන්ට සමාව ලැබෙන්නේ නැද්ද? රණවිරුවන් අත්අඩංගුවට ගන්නේ නැද්ද? හමුදා කඳවුරු එකිනෙක ඉවත් කරන්නේ නැද්ද? ෆෙඩරල් ව්‍යවස්ථාව අද හැදෙන්නේ නැද්ද? එතුමන් ගිවිසුමෙන් ඉදිරිපත් කරපු සියල්ල ඇත්ත වෙද්දී තමයි කූට ලේඛන හැදුවා කියලා අද තිස්ස අත්තනායක මැතිතුමන්ව ඇතුළට දාලා තියෙන්නේ.

තිස්ස අත්තනායක මැතිතුමා ජනතාව අතර ජනවාර්ගික සහ ආගමික වෛරයක් ඇති කරන්න උත්සාහ කළා කියලා එතුමට තවත් චෝදනාවක් නඟලා තියෙනවා. එතුමගේ මේ ගිවිසුම පිළිබඳ කතාව අහලා කොතනවත් ජනවාර්ගික හෝ ආගමික ගැටුමක් ඇතිවුණු බවට කිසිම තොරතුරක් නෑ.

හැබැයි උතුරු පළාත් මහා අමාත්‍ය විග්නේශ්වරන් මහතා උතුරු පළාතේ පවත්වපු ‘පිබිදෙව් දෙමළුනි’ කියන උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් විදිහට කිලිනොච්චියේ බුදු පිළිම කුඩු වුණා. අරිසිමලේ පන්සලේ හාමුදුරුවන්ට තර්ජන එල්ල වුණා. වවුනියාව කොක්කෙලිය ගම්මානයේ සිටිය රණවිරුවන් එළවන්න අන්තවාදීන් තර්ජනය කළා. කිලිනොච්චියේ සතොස ආයතනයේ වැඩකරන සිංහල සේවකයන්ට පහර දුන්නා. එතකොට ජාතිවාදය වපුරලා තියෙන්නේ තිස්ස අත්තනායකද? විග්නේශ්වරන්ද?

පසුගිය 2009 මැයි මාසෙදී උතුරේ වෙඩි හඬ නිහඬ කළාට පස්සේ 2015 ජනවාරි මාසේ මේ පරගැති නිවට ආණ්ඩුවට මේ රට භාර දෙනතුරු උතුරේ මෙවැනි සිදුවීම් වාර්තා වුණේ නෑ. පැවැති සමඟිය අද විනාශ කරලා පිරබාහරන් වෙර දැරුවේ උතුරු නැඟෙනහිර දෙමළ ඊළම හදාගන්නයි. අද මේ රටේ සිදුවෙන සිදුවීම් දිහා බලද්දී මුළු රටම කොටි අල්ලලා කියලා හිතෙනවා. එහෙම නැත්නම් රණවිරුවන් සිරගෙට ගනිමින් කොටියා එළියට එන්නේ කොහොමද? රටම කොටියට භාර දෙන ෆෙඩරල් කෙටුම්පත් හැදෙන්නේ කොහොමද? ”

ඒ මහතා මෙසේ පවසා සිටියේ පසුගියදා රාජගිරිය කලපළුවාවේදී පැවැති ජනහමුවකදීය.