FAST NEWS

24×7 Around the Globe

කොළඹ රජයේ කන්තෝරු ඇරෙන වැහෙන වෙලාව අලුත් වෙයි…?

 

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින අධික මාර්ග තදබදය අවම කිරීම සඳහා රජයේ කාර්යාල වේලාවන් සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව රජයේ කාර්යාල සේවා ආරම්භ කිරීම පෙරවරු 9.30 ලෙසද අවසන් කිරීම පස්‌වරු 5.30 ලෙසටද සංශෝධනය කළ යුතු බවට වන යෝජනාවකට අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.

ප්‍රවාහන අමාත්‍යාංශය, මහා නගර හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ මහා මාර්ග අමාත්‍යාංශයන් මේ සම්බන්ධව පසුගිය සතියේ සාකච්ඡාවක්‌ පවත්වා ඇති අතර එහිදී මේ තීරණය ගෙන තිබේ.

කෙසේ වෙතත් රජයේ කාර්යාල ආරම්භ වන සහ අවසන් වන වේලාවන් සම්බන්ධව කටයුතු කළ යුත්තේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වන අතර මේ සඳහා කැබිනට්‌ අනුමැතිය ලබා ගත යුත්තේද එම අමාත්‍යාංශය විසිනි.

මෙම යෝජනාව සම්බන්ධ නියමු ව්‍යාපෘතියක්‌ ලෙස මේ වනවිට බත්තරමුල්ලේ පිහිටුවා ඇති රාජ්‍ය ආයතන පෙරවරු 9.30 ට ආරම්භ කොට පස්‌වරු 5.30 ට අවසන් කිරීමට තීරණය කර ඇතැයිද ආරංචි මාර්ග පවසයි.

දැනට රාජ්‍ය ආයතන ආරම්භ කෙරෙන්නේ පෙරවරු 8.15 ට වන අතර අවසන් කෙරෙන්නේ පස්‌වරු 4.15 ට ය.