FAST NEWS

24×7 Around the Globe

කැස්බෑ සොරකමෙන් අමල් බේරී ඇත්තම හොරු සෙට් එක හසු වූ හැටි මෙන්න…

 

පසුගිය 2013 වසරේ කොස්ගොඩ කැස්බෑවන් ඇති කරන මධ්‍යස්ථානයකින් සුදු කැස්බෑවකු සොරාගැනීමේ සිද්ධිය මෙහෙයවා ඇත්තේ යුද සමයේ වසර ගණනාවක් කොටි අත්අඩංගුවට පත්ව සිට පසුව නිදහස් වී විශ්‍රාම ගිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොමදොරු අජිත් බෝයගොඩ සහ පාතාල සාමාජිකයන් තිදෙනකු බව හෙළිවී තිබේ.

එම සැකකරුවන් පොලිස් අපරාධ කොට්ඨාසය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන‍‍ ඇති අතර ඊයේ(19) බළපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට මේ අය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 2දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.

සැකකාර බෝයගොඩ විශ්‍රාම යෑමෙන් පසු සුරතල් මසුන් අලෙවි කිරීමේ මහා පරිමාණ ව්‍යාපාරයක් පවත්වාගෙන යද්දී මාලදිවයිනේ ව්‍යාපාරික පිරිසක් සමඟ මෙම සුදු කැස්බෑවා රුපියල් කෝටි දහයකට අලෙවි කිරීමට ගිවිසගෙන සිටි බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

පසුගියදා කොළඹ ආදුරුප්පු වීදියේ රුපියල් කෝටි 3 1/2ක රන් බඩු කොල්ලයට අදාළව ආමි සම්පත් ඇතුළු සැකකරුවන් 4 දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව සහ බොරලැස්ගමුවේදී ඝාතන දෙකකට අදාළ සැකකරුවන් දෙදෙනකුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම අබිරහස් සිද්ධිය හෙළිදරව් වී ඇති බවද පොලිසිය පවසා තිබේ.

මෙම සිද්ධියට ප්‍රකට ගායක අමල් පෙරේරා සම්බන්ධ බවට රාවයක් එකල පැතිරුණ අතර ඒ නිසා ඔහුට මාධ්‍ය ඉදිරියේ උත්තර බඳින්නටද සිදු විය.