FAST NEWS

24×7 Around the Globe

“මගේ දුව මත්පැන් මත්ද්‍රව්‍ය හෝ දුම්පානය කරන්නේ නෑ” – කවීෂාගේ පියා කී කතාව මෙන්න…

 

රංගන ශිල්පිනියක වූ කවීෂා අයේෂානි නුගේගොඩ ජුබිලිකණුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් මරුමුවට පත්වීම සම්බන්ධයෙන් ඊයේ(16) කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේදී මරණ පරීක්ෂණය සිදු කර තිබේ.

කිරිඳිවැල, බෝගහවත්ත, පිල්ලෑව පාරේ පදිංචිව සිටි කවීෂා මියයන දින පැමිණෙමින් සිටියේ නුගේගොඩ ප්‍රදේශයේ තමන් සිටි කුලී නිවස වෙත බව එහිදී හෙළි වී තිබේ.

මරණ පරීක්‍ෂණයේදී අයේෂාගේ පියා ඒ බව මෙලෙසින් සඳහන් කර තිබේ.

“මියගොස්‌ සිටින්නේ මගේ දියණිය වන කවීෂා. මට තව පුතෙක්‌ ඉන්නවා. මියගිය දියණිය අවිවාහකයි. ඇය රංගන ශිල්පිනියක්‌ ලෙස කටයුතු කරමින් සිටියා. පුතා තවමත් අධ්‍යාපනය ලබනවා. මාත්, බිරිඳත්, පුතාත් ජීවත් වුණේ කිරිඳිවැල නිවසේයි. කවීෂා දුව රංගන ශිල්පිනියක්‌ නිසා ඇයගේ රංගන කටයුතුවලට පහසු වීම පිණිස නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක පදිංචිව සිටියා.
එහි ඈ සිටියේ තවත් සහෝදරියක සමඟයි .

මා දන්නා පරිදි මියගිය කවීෂා දුව මීට අවුරුදු 4 කට උඩදී කාර් රථයක්‌ මිලදී ගත්තා. දැනට අවුරුදු 5 කට පෙර ඇය මෝටර් රථ පැදවීම සඳහා බලපත්‍රයක්‌ ලබාගත්තා. මා දන්නා පරිදි මගේ දියණිය මත්පැන් හෝ මත්ද්‍රව්‍ය හෝ දුම්පානය කරන්නේ නෑ.

මා දන්නා තරමින් ඇයට කිසිදු නිධන්ගත රෝගී තත්ත්වයක්‌ තිබුණේ නැහැ. මනා සෞඛ්‍ය තත්ත්වයෙන් ඇය කාලය ගත කළා. ඇය අවසන් වරට මීට දින අටකට පෙර අපේ ගෙදර ඇවිත් කාලය ගතකර ගියා. ඉන් පසුවත් ඇය මගේ බිරිඳට දුරකථනයෙන් කතා කරමින් දුක සැප විමසුවා.

ඊයේ (16 ) උදේ පාන්දර මා නිවසේ නිදාගෙන සිටියදී මගේ බිරිඳගේ මව, බිරිඳට දුරකථනයෙන් කතා කර කියා තිබුණා මගේ කවීෂා දුව රිය අනතුරකට ලක්‌වෙලා කළුබෝවිල රෝහලට අරගෙන ගිහින් කියලා.

පසුව අප ඇය බැලීමට යැමට පෙර මිරිහාන පොලිසියට ගියා. නුගේගොඩ ස්‌ටැන්ලි තිලකරත්න මාවතේදී මගේ කවීෂා දුව පදවනු ලැබූ ඇගේ මෝටර් රථය මාර්ගය අයිනේ නවතා තිබූ බසයක ගැටී මියගොස්‌ ඇති බව පොලිස්‌ නිලධාරීන් මා වෙත කිව්වා.”

ඉදිරිපත් වූ සාක්‍ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක උපාලි පෙරේරා මෙම මරණය මාර්ග රිය අනතුරකින් හිසට සිදු වූ බරපතළ හානි හේතු කොටගෙන සිදු වූ මරණයක්‌ බවට නිගමනය කරණ ලද්දක් බව හෙළි වී තිබේ.