FAST NEWS

24×7 Around the Globe

තිරුපති දෙවොල හිසකෙස් වෙන්දෙසි කර ඉන්දීය රුපියල් මිලියන 17.82ක් උපයයි..

ඉන්දියාවේ හින්දු භක්තිකයන්ගේ ප්‍රධානම දේවස්ථානයක් වන තිරුපති දේවාලයේ පැවැති හිසකෙස් වෙන්දේසියකදී ඉන්දීය රුපියල් මිලියන 17.82ක ආදායමක් ලබා ඇතැයි ඉන්දීය වාර්තා සඳහන් කරයි.

මෙම වෙන්දේසිය පවත්වා ඇත්තේ වසර 2000ක් පැරණි වෙන්කටීස්වර දෙවිඳුන්ට පුද පූජා පැවැත්වෙන ජූලි සහ අගෝස්තු මාසවල පැවැත්වෙන උත්සව සමයේදී බැතිමතුන් බාරහාර සඳහා හිස් මුඩු කිරීම මගින් ලැබෙන හිසකෙස් සඳහාය.

එම කෝවි‍ලේ ප්‍රකාශකයකු මාධ්‍යයට කියා ඇත්තේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පුදපූජා සඳහා මෙයට පැමිණෙන බවත් ඔවුන් එහිදී තම අධිෂ්ඨානයන් සපල කර ගැනීම සඳහා කරන බාරයන් වෙනුවෙන් හිස් මුඩුකරන බවය.

හිසකෙස් වෙන්දේසියේදී ජූලි මස රුපියල් මිලියන 11.88ක් සහ අගෝස්තු මසදී මිලියන 5.94ක් ලබා ඇත.

එම කෝවි‍ලේ පාලක මණ්ඩලයේ සභාපති පවසා ඇත්තේ මෙම මුදල් මගින් කිරි ලීටර් ලක්ෂ 39.32ක් මිලදී ගෙන එහි පැමිණෙන බැතිමතුන්ගේ කුඩා දරුවන් සඳහා බෙදා දීමට පියවර ගන්නා බවයි.

ඊට අමතරව ගිතෙල් කිලෝ ග්‍රෑම් ලක්ෂ 2.25 මිලදී ගෙන ඒවා භාවිත කරමින් බැතිමතුන්ට පැණිරස ආහාර ලබා දීමට පියවර ගන්න බවය.