FAST NEWS

24×7 Around the Globe

ෆෝඩ් හා ලීමන් ඩිල්ෂාන්,මැක්ස්වෙල් හා අද තරගය පිළිබඳ විශේෂ ප්‍රකාශයන් කරයි..

දින 70 කින් සමන්විත වූ ඔස්‌ට්‍රේලියානු ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ අවසානය සනිටුහන් වන දෙවැනි විස්‌සයි විස්ස තරගය අද (09 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 7 ට ආරම්භ වීමට නියමීත වේ.

ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ටී. එම්. ඩිල්ෂාන්ගේ අවසන් ජාත්‍යන්තර තරගය වන මෙම තරගය ජය ගනිමින් ජයග්‍රාහී සමුගැනීමක්‌ ලබාදීම ශ්‍රී ලංකා නායකයා ඇතුලු කණ්‌ඩායමේ බලාපොරොත්තුව බවට පත් වුවත්,  ඔස්‌ටේලියානු පිල ඉදිරියේ එම බලාපොරොත්තුව සාක්‌ෂාත් කර ගැනීමට දැඩි අභියෝගයක්‌ බවට පත්ව තිබේ.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායම හා ඔස්‌ට්‍රේලියානු ඊයේ (08) සිය පුහුණුවීම්වල නිරත වූ අතර එහිදී අදහස්‌ දැක්‌වූ දෙපිලේම පුහුණුකරුවෝ සඳහන් කළේ මෙම තරගය ජය ගැනීම සඳහා තම ක්‍රීඩකයන් හැකි සෑම වෙහෙසක්‌ ගනු ලබන බවයි.

මෙහිදී අදහස්‌ දක්‌වා සිටි ශ්‍රී ලංකා පුහුණුකරු ග්‍රැහැම්  ෆෝඩ් මහතා සඳහන් කර සිටියේ එක්‌ තරගයක්‌ පරාජය වුවද තරගාවලිය සමව අවසන් කර ගැනීමේ අවස්‌ථාව තවමත් ශ්‍රී ලංකා කණ්‌ඩායම සතු බවයි.

”කණ්‌ඩායමක්‌ විදියට අපිට තවම ගොඩක්‌ ක්‍රීඩා කරන්න තියෙනවා. අපේ කණ්‌ඩායමේ ගොඩක්‌ම ඉන්නේ අලුත් සහ අත්දැකීම් අතින් ගොඩක්‌ අඩු ක්‍රීඩකයන්. අපි කණ්‌ඩායමක්‌ විදිහට නැගී සිටීම ගැනයි කතා කරන්නේ. මෙහිදී අපිට ගොඩක්‌ දේවල් තියෙනවා හදාගන්න. අපිට තවමත් මේ තරගාවලිය සමව අවසන් කර ගැනීමේ අවස්‌ථාවක්‌ තියෙනවා”යි ෆෝඩ් පවසයි.

පළමු තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් තුට්‌ටුවකටවත් ගණන් නොගත් ග්ලෙන් මැක්‌ස්‌වෙල් පන්දු 65 කදී ලකුණු 145 ක්‌ ලබා ලොව දෙවැනි හොඳම විස්‌සයි විස්සය ඉනිම වාර්තා කිරීමට සමත්වූ අතර ඒ අනුව අද තරගය ජයගැනීමට නම් ඔහුගේ කඩුල්ල කළින්ම දවා ගැනීම ඉතා වැදගත් වනු ඇත.

‘මැක්‌ස්‌වෙල් කියන්නේ පිටිය පුරාවටම පන්දුවට පහර එල්ල කළ හැකි ක්‍රීඩකයෙක්‌. ඔහු පන්දුවට පහර දෙනවා කියන්නේ පන්දු යවන්නන්ට සහ නායකයාට ලොකු පීඩනයක්‌ ගෙන දෙන්නක්‌”

”ඒ වගේමයි ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ අත්දැකීම් අඩු බව හා පීඩනයක්‌ තිබියදී දක්‌ෂතා දැක්‌වීමට අපොහොසත්වීම කණ්‌ඩායමේ අසාර්ථක භාවයට හේතුවුණා” යි පවසනෆෝඩ්, දේශීය වශයෙන් ශක්‌තිමත් විස්‌සයි විස්ස තරගාවලියක්‌ පැවැත්වීමට නොහැකිවීම ද මෙම තත්ත්වයට බලපා තිබෙන බව සඳහන් කර සිටියි.

”මම මේ ගැන මීට ඉහතදීත් කියලා තියෙනවා. අපිට කළින් ශ්‍රී ලංකන් ප්‍රිමියර් ලීග් හෝ සුපර් ලීග් කියලා තරගාවලි පවත්වා තිබුණා. නමුත් අවාසනාවකට එය දිගටම පැවැත්වීමට නොහැකි වුණා. ඒ වගේ තරගාවලිs ක්‍රීඩකයන්ගේ දක්‌ෂතාවල තීව්‍රත්වයට පැමිණීම මෙන්ම විදෙස්‌ රටවල ක්‍රීඩකයන්ව හඳුනා ගැනීමේ අවස්‌ථා හිමිවෙනවා’‘ ෆෝඩ් පවසයි.

අද තරගයෙන් පසු සිය ජාත්‍යන්තර තරග දිවියට සමුදෙනු ලබන ඩිල්ෂාන් පිළිබඳවද අදහස්‌ දක්‌වා සිටි ෆෝඩ්, ”ඔහු ඉතා සුන්දර මිනිසෙක්‌. මම කණ්‌ඩායමට පැමිණිමත් සමග ඔහුට නායකත්වය අහිමි වුණා. ඔහුගේ ශක්‌තිය සහ කැපවීම ඉතා ඉහළයි. ක්‍රිකට්‌ පිටියේ දක්‌වලා තියෙන දක්‌ෂතා දිහා බැලුවහම ඔහුට ගොඩක්‌ ආඩම්බර වෙන්න පුලුවන් දක්‌ෂතා දක්‌වලා තියෙන ක්‍රීඩකයෙක්‌” යෑයි සඳහන් කරයි.

මේ අතර අද තරගය පිළිබඳව අදහස්‌ දක්‌වා සිටි ඔස්‌ටේ්‍රලියානු පුහුණුකරු ඩැරන් ලීමන්, ටෙස්‌ට්‌ තරගාවලියේදී හොඳින් දක්‌ෂතා අතර නොසිටීම එම තරගාවලි පරාජයට හේතු වුණා හැරෙන්නට නායකත්වයේ වෙනස, එක්‌දින සහ විස්‌සයි විස්ස තරගවල සාර්ථකත්වයට හේතු නොවූ බව සඳහන් කර සිටියි.

” ස්‌මිත් සහ වෝනර් කියන්නේ ආක්‍රමණශීලී ක්‍රීඩකයන් දෙදෙනෙක්‌. මට නම් එහි වෙනසක්‌ පේන්නේ නැහැ. අපි ටෙස්‌ට්‌ තරගාවලියේදී හොඳින් කළේ නැහැ. ඒක නිසයි අපි හොඳ කණ්‌ඩායමකට පැරදුණේ”යෑයි ලීමන් පවසයි.

විස්‌සයි විස්ස තරගයේ දක්‌ෂතා පිළිබඳව දැඩි සතුටට පත්ව සිටින ඔස්‌ට්‍රේලියානු පුහුණුකරු, එක්‌ තරගයක්‌ ජය ගෙන සිටියද අද තරගයද ජය ගැනීම ඉතාමත් වැදගත් වන බව සඳහන් කර සිටියි. ”අද තරගයත් ඉතාම වැදගත්. අපි ඉතාම හොඳින් පළමු තරගයේදී පන්දුවට පහර දුන්නා. විශේෂයෙන්ම පිතිකරණයෙන්. ඒ වගේමයි පන්දු යෑවීමත් ඉතාම හොඳ තත්ත්වයක තිබුණා. තරග 2 ක තරගාවලියක්‌ වුවත් මේ තරගයේ ජය අපිට හරි වැදගත්” යෑයි සඳහන් කර සිටියේය.