FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට බැට දුන් කතාවේ සුල මුල හා සිය වේදනාවක් මැක්ස්වෙල් හෙළි කරයි..

ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්‌ට්‌ තරගාවලිය සඳහා නම් කරන ලද ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායමේ ස්‌ථානයක්‌ නොලැබීම තරම් වේදනාකාරී තවත් දෙයක්‌ තමන්ට නොතිබූ බව බවසන ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායමේ ප්‍රවේගකාරි පිතිකරු ග්ලෙන් මැක්ස්වෙල් ශ්‍රී ලංකාව සමග පැවැති පළමු විස්‌සයි විස්ස තරගයේදීම පිතිකරුවකු ලෙස සාර්ථකවීම පිටුපස ඇත්තේ ඉන් උගත් පාඩම වන බව මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකාව සහ ඔස්‌ට්‍රේලියාව අතර පෙරේදා (06 දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති විස්‌සයි විස්ස  තරගයේදී සුපිරි පිතිහරඹයක නියෑලුණු මැක්‌ස්‌වෙල් පන්දු 65 කදී නොදැවී ලකුණු 145 ක්‌ ලබා ගනිමින් ලකුණු 85ක දැවැන්ත තරග ජයක්‌ කරා ඔස්‌ට්‍රේලියානු පිල රැගෙන ගියේය.

මැක්‌ස්‌වෙල්ගේ සුපිරි ඉනිම ප්‍රධාන කොට ඔස්‌ට්‍රේලියානු පිලට ලකුණු 263 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක්‌ කරා යැමේ අවස්‌ථාවද විවර විය.

මෙය විස්‌සයි විස්ස තරගයකදී කණ්‌ඩායමක්‌ රැස්‌ කර තිබෙන වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව වශයෙන්ද සටහන් වේ.

”බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය බලාපොරොත්තු සුන්කරපු තරගාවලියක්‌ වුණා” යෑයි පවසන මැක්‌ස්‌වෙල් ”මම හිතන්නේ ඒ තරගාවලියේ” මට ටිකක්‌ හෝ වාසනාවක්‌ තිබුණේ නෑ කියලයි. කොහොම වුණත් ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්‌ට්‌ තරගාවලිය සඳහා කණ්‌ඩායමට මාව ඇතුළත් නොවීම තරම් වේදනාකාරී දෙයක්‌ තවත් තිබුණේ නැහැ. නමුත් මම තේරුම් ගත්තා ඇයි මාව ඔවුන් කණ්‌ඩායමෙන් ඉවත් කළේ කියලා. මගේ දක්‌ෂතා එතරම්ම හොඳින් තිබුණේ නැති නිසා ඒ ගැන මට කිසිම ප්‍රශ්නයක්‌ නැහැ”  මැක්ස්වෙල් පැවසීය.

මෙම තරගයේදී ආරම්භක පිතිකරුවකු යොදා ගැනීම පිළිබඳව බෙහෙවින් සතුටට පත්ව සිටින මැක්‌ස්‌වෙල් තමා දිගින් දිගටම ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කිරීමට රුචිකත්වයක්‌ දක්‌වනු ලබන බවද සඳහන් කර සිටියේය.

”ඇත්තටම ෆින්ච් ආබාධයට මුහුණ දුන්න වෙලාවේ මම මේ ගැන පුහුණුකරුත් සමග සාකච්ඡා කළා. මම ඔහුට කිව්වා මම ආරම්භක පිතිකරු ස්‌ථානයේ ක්‍රීඩා කරන්න කැමැතියි කියලා. දින කිහිපයකින් පස්‌සේ වෝනර් මට කිව්වා මම ඔයාව ඉදිරියට අරන් එනවා කියලා. එය මාව තරමක්‌ තැති ගන්වන්නක්‌ වුණා”යි මැක්‌ස්‌වෙල්  සඳහන් කර සිටියේය.

මෙම තරගයට පෙර මැක්‌ස්‌වෙල් ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කර ඇත්තේ අවස්‌ථා වනුයේ එක්‌ විස්‌සයි විස්ස තරගයක හා එක්‌ එක්‌දින තරගයක පමණි.

”විස්‌සයි විස්ස තරගවලදී ආරම්භක පිතිකරුවකු ලෙස පන්දුවට පහරදීමට මම ගොඩක්‌ කැමැතියි. එතනින් පන්දුවට පහරදීම ඉතා පහසුයි. ඔබ මැද පෙළ පිතිකරුවකු ලෙස ක්‍රීඩා කරනවා නම් නිතරම ක්‍රීඩා කරන්න වෙන්නේ තරගයට අනුකූලව. නමුත් ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කරන කොට ඊට වඩා නිදහසක්‌ තියෙනවා. මෙහිදී තමන්ගේ පහරවල් කිසිදු අවදානමකින් තොරව එල්ලකිරීමේ හැකියාව පවතිනවා. මේ තරගයේදී වුණේ ඒක තමයි. ශ්‍රී ලංකා පිල පන්දු රකින්නන් යොදවා තිබුණු ආකාරය සහ ඔවුන් පන්දු යෑවූ ආකාරය මගේ කටයුත්ත සාර්ථක කරවන්නක්‌ වුණා” යි මැක්‌ස්‌වෙල් පවසයි.

මැක්‌ස්‌වෙල් විසින් රැස්‌ කරන ලද ලකුණු 145 ක ඉනිම විස්‌සයි/20 තරග අංශයේ දෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව වශයෙන් සටහන් වේ. එහි වැඩිම ලකුණු ලාභියා ලෙස පසුවන්නේද ඔස්‌ට්‍රේලියානු ක්‍රීඩක ඇරන් ෆින්ච් වන අතර හෙතෙම එංගලන්තයට එරෙහිව 2013 වසරේදී ලකුණු 156 ක්‌ ලබාගෙන තිබේ.

”අන්තිම පන්දුවාර 8 ක්‌ විතර තියෙන කොට මම ලකුණු 80 ක්‌ හෝ 90 ක්‌ ලබාගෙන හිටියේ. ඒ වෙලාවේ මට හිතුණා මට ලොකු ලකුණු සංඛ්‍යාවකට යැමේ අවස්‌ථාවක්‌ තියෙනවා කියලා. කොහොම නමුත් ඔය වගේ ලකුණු සංඛ්‍යාවලදී මගේ අතින් අතපසුවීම් වෙලා තියෙනවා. අයි. පී. එල්. තරගාවලියේදී කීප අවස්‌ථාවකදීම දැවී ගිහිල්ලා තියෙනවා. මම හිතනවා අද මම කළින්ට වඩා හොඳින් ක්‍රීඩා කළා කියලා’‘ යෑයි මැක්‌ස්‌වෙල් තරගයෙන් අනතුරුව තවදුරටත් පැවසීය.