FAST NEWS

24×7 Around the Globe

ග්‍රැහැම් ෆෝඞ්ගේ මුවින් කුසල්ගේ අනාගතය ගැන අනාවැකි කිහිපයක් කියැවේ…

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රීකට් තරගයේ අවසන් දිනය (30) අදයි.

කෙසේ වෙතත් මෙම තරගයේ ජයග්‍රහණය කිරීමේ අවස්ථාව කණ්ඩායම් දෙකටම විවෘතව පවතින අතර ඔස්ට්‍රේලියා කණ්ඩායමට කඩුලු 07ක් අතැතිව සිය ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 185 ක් ලබා ග යුතුව තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තත්ත්වයට කැඳවාගෙන ආ කුසල් මෙන්ඩිස්ගේ ඉනිම පිළිබඳව සිව්වන දිනය අවසානයේ පුහුණුකරු  ග්‍රැහැම් ෆෝඞ් මහතා සිව්වන දිනය අවසානයේ මහත් ප්‍රසාදයෙන් යුතුව අදහස් දැක්වීය.

“ඔහු ගැන මෙනවා කියන්නද මන්දා”

“මා මගේ ජීවිත කාලයේදී දුටු අති විශිෂ්ටතම ඉනිමක්. අලංකාර, දීප්තිමත් ඉනිමක්…පෙනෙන්නට තිබුණ විදිහට නම් ඔහු සෑම පන්දු යවන්නකු සඳහාම සැලසුමක් ඇතිව ගියා වගේ. හැම පන්දු යවන්නකු වෙනුවෙන්ම ඔහුට ඔහුගේම විකල්පයක් තිබුණා” යයි පැවසූ ෆෝඞ් මහතා..

“ඒත් ඇත්තටම එතැන තිබුණේ තැන්පත්කම….ඉඳහිට පන්දුවක් දෙකක් ඔහුගේ වටේ තියුණු ලෙසින් දඟ කැවුණා තමයි. ඒත් කලින් පන්දුව ගැන හිතන්නේ නැතිව ඊළඟ පන්දුවට මුහුණ දුන්නා….තමන්ගේ කාර්යය අකුරටම කළා”

“ඔහු නම් ඇදහිය නොහැකි දක්‍ෂතාවත් තියෙන කෙනෙක්. ඔහු තමන්ගේ ක්‍රීඩාවට ආදරෙයි. ඒ වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කරනවා” යයිද ෆෝඞ් මහතා පැවසීය.

පසුගිය මාස කිහිපයේදීම ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම ආකාරයන්හිදී අංක 3 පිතිකරුවා වීමට වරම් ලද කුසල් මෙන්ඩිස් ඒ සෑම අවස්ථාවකදීම තමන් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තේය.

මාස එකහමාරකට ඉහතදී, අයර්ලන්තයට එරෙහිව, ඩබ්ලින් නුවරදී එක්දින වරම් ලබාගත් කුසල් මෙන්ඩිස් එක්දින තරග 7 කදී අර්ධ ශතක 3 ක් ද සමගින් ලකුණු 228 ක් ලබාගෙන සිටී. එහිදී කුසල්ගේ ලකුණු ලබාගැනීමේ වේගය පන්දු 100 කට 90.11 කි.

එංගලන්තයට එරෙහිව සදම්ප්ටන්හිදී සිය එකම විස්සයි:20 තරගයට මුහුණ දුන් කුසල් මෙන්ඩිස් එහිදී පන්දු 16 කින් ලකුණු 21 ක් ලබාගත්තේ හයේ පහරක්ද ඊට ඇතුළත් කරමිනි.

ක්‍රිකට් ක්‍රීඩාවේ උච්චතම තලයේ ඉනිමකදී කුසල් ලකුණු 176 ක් ලබාගත්තේ ලෝකයේ අංක 1 ටෙස්ට් කණ්ඩායමට එරෙහිවය
.
“වාසනාවට වගේ දැන් ඔහුගේ නමට ඉදිරියෙන් විශාල ඉනිමක් තියෙනවා. මේ කාලයේදී ඔහු ඉතාමත් හොඳ පරිණත බවක් පෙන්වා තියෙනවා”

“ඔහුගේ මේ ඉනිම තවත් දිගු ඉනිම කිහිපයක ආරම්භය කියා මා හිතනවා” යයිද ෆෝඞ් මහතා පැවසීය.

“ඔහු තුන්වන ස්ථානයට ගිය සෑම අවස්ථාවකදීම අන්තර්ජාතික මට්ටමේ පිතිකරුවකු වීමේ ලකුණු පෙන්නුම් කළා. ඔහු තරග දිනවන්නෙක් විය හැකි බවත් පෙන්නුම් කළා”

“ඔහුත් එක්ක ඉදිරියට යන්න ගත්ත තීරණය සාධාරණ බවත් ඔහු ඔප්පු කළා” යයිද ෆෝඞ් මහතා වැඩිදුරටත් පැවසීය.