FAST NEWS

24×7 Around the Globe

ළදරු කිරිපිටි දැන්වීම් ප‍්‍රචාරයට තහනමක්….

ළදරු කිරිපිටි දැන්වීම් ප‍්‍රචාරය කිරීමට අදාල පනත්වල වගන්ති සංශෝධනය කිරිමේ වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කර ඇති බවත් විවිධ කිරිපිටි වර්ග දැන්වීම් දැඩි ලෙස පාලනය කළ යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

අගෝස්තු 01 සිට 07 දක්වා ක‍්‍රියාත්මක ජාතික මව්කිරි දීමේ සතියට සමගාමීව “මව් කිරෙන් සපිරි ජාතික අසිරි” යන මැයෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ඊයේ (27) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා,

“ළදරු කිරිපිටි දැන්වීම් ප‍්‍රචාරය තහනම් කිරිම සදහා විවිධ ක‍්‍රියාමාර්ග මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක‍්‍රියාත්මක කර තිබෙනවා. නමුත් ළදරු කිරිපිටි දැන්වීම් ප‍්‍රචාරය අවම කළ යුතුයි. ඒ සදහා නෛතික රාමුව ශක්තිමත් කළ යුතුයි. විශේෂඥ කමිටුවක් මගින් ඊට අදාල පනත් වල වගන්ති සංශෝධනය කිරීමේ වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කර තිබෙනවා. නීති පද්ධතිය ශක්තිමත් කළ යුතු අතර, විවිධ කිරිපිටි වර්ග දැන්වීම් දැඩි ලෙස පාලනය කළ යුතුයි. ඒ සදහා පවතින නීති ප‍්‍රතිපාදන ප‍්‍රමාණවත් නැහැ.”

“පිටි කිරි ශක්ති සම්පන්නභාවයට ගෝචර නැහැ. දරුවෙකුට මුල් මාස 06 තුල මව්කිරි ලබාදීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බව අපි ප‍්‍රවර්ධනය කළ යුතුයි. 2012 වසරේ රටවල් 51 ක් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සමීක්ෂණයකට අනුව මව්කිරි ලබාදීමේ වැඩිම ප‍්‍රතිශතය ඇති රට ශ‍්‍රී ලංකාවයි. 2016 රටවල් 121 ක් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සමීක්ෂණයෙත් ශ‍්‍රී ලංකාව ප‍්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා. එම නිසා අපි මව්වරුන්ට ප‍්‍රණාමය පුද කළ යුතුයි. මව්කිරි දීම ප‍්‍රවර්ධනය කිරීම හමුවේ තවමත් අභියෝග තිබෙනවා. දරුවෙකු ඉපදී පළමු පැය තුළ මව්කිරි දීමේ ප‍්‍රතිශතය සියයට 92 ක්. එය සියයට 95 දක්වා වැඩි කළ යුතුයි. බෝනොවන රෝග ඇතිවීම අවම කිරිමටත් මව්කිරි ඉතා වැදගත් වෙනවා.”