FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්…!

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු අංශය සහ පන්දු රැකීමේ අංශයේ ඇතිව තිබෙන දුර්වලතාව හේතුවෙන් නව වේග පන්දු පුහුණුකරුවකු සහ පන්දු රැකීමේ පුහුණුකරුවකු පත්කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධානය යොමුවී ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකා පිලේ වත්මන් පුහුණුකරුවා වන ග්‍රැහැම් ෆෝඞ් මහතා සමග ටෙස්ට්, එක්දින සහ විස්සයි:20 අංශ තුනෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වීමට හේතු වූ කරුණු කාරණා සාකච්ඡා කිරීමෙන් අනතුරුව වේග පන්දු පුහුණුකරුවකු සහ පන්දු රැකීමේ පුහුණුකරුවකු අලුතින්  පත්කිරීමට තීරණය කර තිබේ.

වේග පන්දු පුහුණුකරුවා සහ පන්දු රැකීමේ පුහුණුකරුවා පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව සාකච්ඡා කොට ඇති අතර එය ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතියට යොමු කිරීමෙන් අනතුරුව එම පත්වීම් සිදුකිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් දක්‍ෂතා ඉහළ දැමීමේ කළමණාකරු ලෙස පත්කර සිටින එංගලන්ත ජාතික සයිමන් විලිස් මහතාද අදාළ පත්වීම් දෙක හැකි ඉක්මනින් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් විලිස් මහතා ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙකු මෙන්ම වසර දෙකක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවාද වූ චමින්ද වාස් මහතා සමගද සාකච්ඡාවක් පවත්වා තිබේ.

චමින්ද වාස් මහතාට බංග්ලාදේශයේ වේග පන්දු පුහුණුකරු ධුරය භාර ගැනීම සඳහා මේ වන විටත් ආරාධනාකර ඇතත් ඒ සම්බන්ධයෙන් ඔහු මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැති බවද සඳහන් වේ.

මේ අතර පන්දු රැකීමේ පුහුණුකරුවකු පත්කර ගැනීම සඳහා අයඳුම්පත් කැඳවීමක් ඉදිරියේදී කෙරෙන අතර මෙම පත්වීම් දෙක ඔස්ට්‍රේලියානු සංචාරයෙන් අනතුරුව කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය යොමු කර තිබේ.