FAST NEWS

24×7 Around the Globe

අමාත්‍ය රාජපක්‌ෂ සිය පාසල් අතීතය සිහි කරයි.

සමහරු කියනවා මට දීපු ඇමැතිකම එළහරකයි මී හරකයි වගේලු. නඩු අහන්නයි, බණ කියන්නයිලු. ඒ වුණාට මෙය හොඳම ක්‍රමය යෑයිද අද බන්ධනාගාරගත වන්නන්ගෙන් 70% ක්‌ම අ. පො. ස. (සා. පෙළ) වත් නැති අය යෑයිද අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය හා ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්‌ෂ මහතා පැවසීය.

ඒ මහතා මේ බැව් ප්‍රකාශ කළේ තමන් ඉගෙනුම ලැබූ හ/ උතුරු කණුමුල්දෙණිය මහා විද්‍යාලයට පැමිණ ගුරුවරුන් සහ සිසු දරු දැරියන් හමුවීමෙන් පසු විද්‍යාලයේ පැවති සුහද හමුවේදීය.

මා මේ විදුහලට පැමිණි පසු සේනාධීර, කරුණාරත්න, අමරදාස, ආරියරත්න යන ගුරු භවතුන් තවමත් මතකයේ රැඳී පවතිනවා. ඒ ගුරුවරුන් මා ගෞරවයෙන් සිහිපත් කරනවා ඒවගේම මා දිනාගෙන සිටින ගෞරවය ඔවුන්ටත් හිමි වෙනවා. ඒ ගුරුවරුන් ඉගැන්නුවේ සෙනෙහසින්, ලෙන්ගතුකමින්. සමහරු අද ජීවතුන් අතර නැහැ. දරුවෝ වෙනුවෙන් කැපවුණා. හොඳ පුරවැසියන්, බුද්ධිමතුන්, උගතුන් හැටියට මගේ ගුරුවරු බලාපොරොත්තු වූ ඒ අභිමතාර්ථයන් මං ඉටු කළා. අවුරුදු 38 කට පෙර ඉගෙන ගත්ත මගේ ඒ අතීතය මිහිරියි, ඒ කාලේ දුක්‌ කම්කටොලු මැද ඉදිරියටම ගමන් කළා. ඒ කාලේ වැඩියෙන්ම දඬුවම් ලබපු, ගුටි කාපු කෙනා මම. වේවැලෙන් ගහල මගේ අත දෙපැත්ත පැලිලා, මං හරි දඟයි. හොඳම ශිෂ්‍යයා කොච්චර හොඳ ඇත්ද. එදා ගුරුවරු ගැහුවෙ තරහට නොවෙයි. මං කවදාවත් ටියුෂන් ගියෙ නැහැ.

ගුරුවරු හවස ඉගැන්නුවා. විභාග කිට්‌ටුව හවස 5 -6 වෙනකම් ඉගැන්නුවා. අපි මහඟු ඵල නෙළා ගත්තා. විෂය නිර්දේශය තුළ කොටු වුණොත් ලෝකය බලන්න බැහැ. උසස්‌ පෙළ අවසාන වසරේ ගුරුවරයක්‌ හිටියේ නැහැ. තනිවම පාඩම් කරලා විභාගේ උසස්‌ ලෙස සමත් වුණා. මට වුවමනා වූයේ නීතිඥයෙක්‌ වෙන්න. වැඩිපුර ලකුණු තිබුණත් බාහිර නීති විද්‍යාලයට මට ඇතුළත්වෙන්න සිද්ධ වුණේ. ඒ කාලේ හැටි එහෙමයි. අවුරුදු 18 දී මට ලංකා බැංකුවේ ජොබ් එකක්‌ ලැබුණා.

අද දරුවන්ට ඉදිරියට යන්න බාධක නැහැ. මං ජනාධිපති නීතිඥ වෙන්න හිතුවේ නැහැ. ඒවා රදළ පවුල්වල අයට පමණයි හිමිවුණේ. මේ රටේ අඩුම වයසෙදි ජනාධිපති නීතිඥයා වුණා අවුරුදු 40 දී. පන්දම් ඇල්ලුවෙ නැහැ. දේශපාලනය පස්‌සේ ගියේ නැහැ. කනිෂ්ඨ නීතිඥයන් 50 කට වඩා පුහුණු කළා.

ලෝකයට විවර වෙන්න ඉංග්‍රීසි තියෙන්න ඕන. අංක 1 ඉංග්‍රීසි, අංක 2 පරිගණක, ගුරුවරයෙක්‌ නැතුව මං ඉංග්‍රීසි ඉගෙන ගත්තෙ, පොත් 20 ක්‌ ඉංග්‍රීසි භාෂාවෙන් මං ලියලා තියෙන්නේ. ඔබගේ දැන ගැනීමටත් මං පුස්‌තකාලයට පොත් ටිකක්‌ පරිත්‍යාග කරනවා. මාගේ පෞද්ගලික වියදමින් පරිගණක 5 – 6 ක්‌ද ලබා දෙන බව පැවසීය.

උපුටා ගැනීම-දිවයින