FAST NEWS

24×7 Around the Globe

සංගාගෙන් ඒකාබද්ධ පළමු පෙළ වාර්තාවක්.

 

මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන පළමු පෙළ ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ දී සරේ පිල නියෝජනය කරන ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පළමු පෙළ, පළමු පෙළ එක්දින හා පළමු පෙළ විස්ස – 20 යන තරග කොටස් තුනෙහිම ඒකාබද්ධ ලකුණු රැස් කිරීම් අනුව පළමු පෙළ ලකුණු 40,000 සීමාව ඉක්මවා යාමට සමත්ව ඇත. මේ අනුව එවැනි දස්කමක් කළ ලොව 42 වැනි පිතිකරුවා බවටත්, ප්‍රථම හා එකම ශ්‍රී ලාංකික පිතිකරුවා බවටත් පත් වීමට සංගක්කාරට පසුගියදා හැකි විය.

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සරේ පිල වෙනුවෙන් ලෙස්ටර්ෂයර් පිලට එරෙහිව ලෙස්ටර් හි දී පැවති සිව්දින තරගයේ දෙවැනි දිනයේ දී සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් සංගක්කාර ලකුණු 20 ක් රැස් කළ අතර එහිදී සිය හතරවැනි ලකුණ ලබාගත් අවස්ථාවේ ඔහු මෙම වාර්තාවට හිමිකම් කීය.

1997/98 තරගවාරයේ දී එන්. සී. සී. පිල නියෝජනය කරමින් බ්ලූම්ෆීල්ඩ් පිලට එරෙහිව සිය පළමු පෙළ තරග දිවිය ආරම්භ කළ සංගක්කාර මේ වන විට ඒකාබද්ධ පළමු පෙළ තරග 893 කට සහභාගි වී ඇති අතර එහිදී ශතක 86 ක් හා අර්ධ ශතක 214 ක් සමග ලකුණු 40016 ක් රැස්කර ඇත. ශ්‍රී ලංකාවේ ඔහුගේ ආසන්නතම ප්‍රතිවාදියා වනුයේ තරග 952 කදී ශතක 73 ක් සමග ලකුණු 37193 ක් රැස් කර ඇති මහේල ජයවර්ධනයි.

ඒකාබද්ධ පළමු පෙළ ක්‍රිකට් තරග ලකුණු රැස් කිරීමේ සටහනේ පෙරමුණ ගෙන ඇත්තේ තරග 1194 ක දී ලකුණු 67057 ක් රැස් කළ එංගලන්ත පිතිකරු ග්‍රැහැම් ශූච් තරග 1214 කදී ලකුණු 64372 ක් රැස් කළ ග්‍රැහැම් හික් එහි දෙවන ස්ථානයත්, තරග 834 කදී ශතක 199 ක් සමගින් ලකුණු 61760 ක් රැස් කළ එංගලන්තයේ ශ්‍රීමත් ජැක් හොබ්ස් එහි තෙවැනි ස්ථානයත් හිමි කර ගෙන ඇත.

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගවලදී ක්‍රීඩකයන් හට වැඩි තරග අවස්ථා හිමිවීම හේතුවෙන් ලකුණු 40,000 සමාජයේ ක්‍රීඩකයන් 42 න් 28 දෙනකුම එංගලන්ත ජාතිකයන් වීම විශේෂයකි. ඒ අනුව සෙසු රටවල පිතිකරුවන් අතරින් ඒකාබද්ධ පළමු පෙළ ලකුණු 40,000 සීමාව ඉක්මවා ඇත්තේ පිතිකරුවන් 14 දෙනකු පමණි. එමෙන්ම දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ හා බංග්ලාදේශය යන පූර්ණ සාමාජික රටවල්වලින් මතෛක් මෙම සමාජයට ක්‍රීඩකයන් එක් වී නොමැත.

එමෙන්ම ලොව සුපිරි පිතිකරුවන් වන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, බ්‍රයන් ලාරා හා ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් වැනි ක්‍රීඩකයන්ද, මෙම සමාජයට එක්ව නොමැත. විශේෂයෙන්ම බ්‍රැඩ්මන් යුගයේ දී එක්දින තරග හා විස්සයි විස්ස තරග නොපැවති අතර එම යුගයේ පැවතියේ පළමු පෙළ තුන්දින හෝ සිව්දින තරග පමණි.

qedasdasdasdas