FAST NEWS

24×7 Around the Globe

විශ්‍රාම ගැනීම – පන්දු නොයැවීම හා තිසරට අංක හතර දීම ගැන ඩිල්ෂාන් මාධ්‍යයට කියයි.

දස්කම් අතර සිටින නිසා අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට කිසිදු අදහස් නොමැති බව ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂන් ඊයේ (17දා) රාත‍්‍රී කොල්කටාහිදී පැවසීය.

හයවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි 10’ වටයේ පළමු කාණ්ඩයේ දෙවැනි තරගය ලෙස කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (17දා) රාත‍්‍රීයේ පැවැති තරගයේදී ඇෆ්ගනිස්තානය කඩුලු 6 කින් පරාජය කිරීමෙන් පසුව මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඩිල්ෂාන් මෙසේ ද පැවසීය.

“මම පන්දුවට පහර දෙන ආකාරයට මම හිතන්නෙ නෑ. මම විශ්‍රාම ගැනීමක් ගැන සිතිය යුතුයි කියලා. මම මගේ ක්‍රීඩාව ගැන ගොඩක් සතුටු වෙනවා. ඒ නිසා මම එවැනි දෙයක් ගැන කල්පනා කරන්නේ නෑ

මට හිතුණොත් හෙට උදේට විශ්‍රාම ගන්න  ඕනේ කියලා ඊළඟ දවසේ ඒ දේ කරනවා. මගේ ප්‍රධාන ඉලක්කය මගේ රටට උපරිමය ලබා දෙන්න ක්‍රීඩා කිරීමයි”

මෙම තරගයේදී තිසර පෙරේරා පිතිකරු ලැයිස්තුවේ අංක හතර ස්ථානයට යෙදවීමේ තීරණය පිළිබඳව හා ඩිල්ෂාන් පන්දු යැවීමේ අවස්ථාව නොලැබීම සම්බන්ධයෙන් කළ විමසුමේදී අදහස් දැක්වූ ඩිල්ෂාන්,

“ඒ වනවිට පා දඟ පන්දු යවන්නන් දෙදෙනකු පන්දු යවමින් සිටියේ. ඒ නිසා ඇන්ජලෝ සහ පුහුණුකරු තීරණය කළා තිසර අංක හතර ස්ථානයට යොදවන්න. ඔහු දඟ පන්දු යවන්නන්ට පහසුවෙන් හයේ පහර දෙකක් ගැසුවා නම් අපිට ඉලක්කයට යන්න පහසු වෙනවා. ඒ නිසා තමයි ඒ තීරණය ගත්තේ.

මම කැමති පන්දු රැකීමෙන් දෙයක් කරන්න පුළුවන් නම්, ඒ නිසා මම පන්දු රැකීමේ පුහුණුකරු සමග ගොඩක් වැඩ කරනවා. සෑම බෝලයක්ම මට එනවා නම් මම කැමතියි. ඒ නිසා වෙන්න ඇති මම තවමත් කවර් පොයිට් එකේ ක්‍රීඩා කරන්නේ. මම සෑම විටම හිතන්නෙ දුවද්දී දැවී යෑමක් හෝ අපහසු උඩ පන්දුවක් රැකගෙන කණ්ඩායම උඩට දා ගන්න. වයස ගැන හිතන්නෙ නැතුව නවක ක්‍රීඩකයන් සමගින් ඉදිරියට යන්න තමයි හිතන්නේ.

පන්දු යවන්න අවස්ථාවක් ලැබුණේ නැත්තේ ඇෆ්ගනිස්තාන් කණ්ඩායමේ සිටියෙ, දකුණත් පිතිකරුවෝ. ඒ නිසයි පා දඟ පන්දු යවන්නන් වන රංගන හේරත් සහ මිලින්ද යොදා ගත්තේ. තිසර හොදින් පන්දු යැව්වා. ඒ වගේම ඇන්ජලෝ පළමු  පන්දුවාර දෙක හොඳටම දැම්මා. ඒ නිසා මම හිතන්නෙ මම පන්දු යවන්න අවශ්‍යාතාවක් ඇති වුණේ නෑ” යැයි පැවසීය.