FAST NEWS

24×7 Around the Globe

කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ හෙදියන් අතර වලියක්.

කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ දහතුනේ වාට්‌ටුවේ ප්‍රධාන හෙද සොයුරියක්‌ සහ හෙද නිලධාරිනියක්‌ අතර ඇති වූ ගුටි බැට හුවමාරුවක්‌ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා තිබේ.

මෙම සිද්ධිය ළමා රෝගීන් බලා සිටියදීම සිදුවී ඇතැයි ද වාර්තා වේ.

මෙම ගුටිබැට හුවමාරුවේදී සීරීම් තුවාල ලැබූ හෙද නිලධාරිනිය කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇතැයි ද පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධව ප්‍රධාන හෙදි සොයුරිය හෙද නිලධාරිනියන් කෑම කන කාමරය තුළ කතාවෙන දේවල් දැනගැනීමට ටේප් රෙකෝඩරයක්‌ තබා ඇත. පහරකෑමට ලක්‌වූ හෙද නිලධාරිනිය තම සහෝදර හෙද නිලධාරිනියන් සමඟ කතාබහ කරමින් කෑම කන අවස්‌ථාවේ අදාළ ටේප් රෙකෝඩරය ක්‍රියාකරමින් තිබෙනු දැක එය නවත්වා පසුව එය රෝහල් බලධාරියකු හට භාරදී තිබේ.

පසුව මේ සම්බන්ධයෙන් ප්‍රධාන හෙද සොයුරිය අදාළ හෙද නිලධාරිනිය සමඟ බහින් බස්‌ වී ඇති අතර එහිදී එම ප්‍රධාන හෙද සොයුරිය හෙද නිලධාරිනියගේ එක්‌ අතක්‌ සූරමින් පහර දී ඇතැයි හෙළි වූ බව ද බොරැල්ල පොලිසිය කියයි.

පසුව මෙම පහරදීම සම්බන්ධයෙන් හෙද නිලධාරිනිය පැමිණිල්ලක්‌ කළ බව පොලිසිය කියයි. එසේම ප්‍රධාන හෙද සොයුරිය ද තමාගේ ටේප් රෙකෝඩරය හෙද නිලධාරිනිය සොරකම් කළ බව කියමින් පැමිණිල්ලක්‌ කර ඇතැයි ද පොලිසිය පවසයි.

ඒ අනුව මෙම දෙදෙනාගේම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන සිදුකරගෙන යන බව පොලිසිය කියයි.