හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහතාට ඇප ලබාදෙන දිනයේදී වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට ගේට්ටුව අසල පොල්ගෙඩි දස ලක්ෂයක් (මිලියනයක්) ගසන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කියයි.
ඔහු මේ බව කියා සිටියේ අද (01) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.
මේ ප්‍රකාශය සම්බන්ධයෙන් පොල් පර්යෙෂණ ආයතන ඉහල නිලධාරියකු කියා සිටියේ එසේ පොල්ගෙඩි දසලක්ෂයක් බිඳ ඒවා අපතේ හැරියහොත් පොල් හිඟයක් මතුවීමේ අවදානමක් ඇති බවයි.
එසේම පොල් මිල ඉහලයාමට ද හැකි බව ඔහු කියා සිටියේය.
ඉකුත් 2014 වසරේදී මෙරට පොල් නිෂ්පාදනය මිලියන 2905ක් බවත්, පසුගිය වසරේදී (2015) පොල් නිෂ්පාදනය මිලියන 3026ක් බවද පර්යේෂණ ආයතන නිලධාරියා කීය.
වසරක සමස්ථ පොල් නිෂ්පාදනයෙන් 70% දේශීය පරිභෝජනයට ගන්නා බවද ඔහු සඳහන් කළේය.
එසේම, දැනට පොල් පිටරටින් ගෙන්වීමට තීරණය වී ඇතත් පසුගිය වසර දෙකේදීම පොල් පිටරටින් නොගෙන්වූ බවද ඔහු කීය.








