තමන්ට අපහාස කල බව කියමින් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාගෙන් රුපියල් මිලියන දහසක වන්දියක් ඉල්ලා ස්වකීය නීතිඥවරයා මාර්ගයෙන් තිලංග සුමතිපාල මහතා වෙත එන්තරවාසියක් යවා තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට පත්වීමෙන් පසුව තිලංග සුමතිපාල මහතා ජනවාරි 4වැනිදා මාධ්‍ය සාකච්ඡාවකට එක් විය. එම මාධ්‍ය සාකච්ඡාවේදී තිලංග සුමතිපාල මහතා කළ ප්‍රකාශ හේතුවෙන් තමන්ට අපහාසයක් සිදු වූ බව අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා එන්තරවාසියෙන් පවසයි.
“අයියා මල්ලිලා ඇවිල්ලා මේක විනාශ කළා…., වර්ල්ඩ් කප් එකක් උස්සන් එනකොට මෙහේ පින්තූර ගහලා තියෙනවා අරවින්දගෙයි අර්ජුනගෙයි කියන දෙන්නගේ. ඉතිං ලැජ්ජාවයි…., වරායේ මිනිස්සුන්ට රස්සාවල් දෙනවා කියලනේ ඡන්දේ කළේ…., එයා කරපු බොරු ප්‍රකාශ වංචාවල් සියල්ලක්ම පිළිබඳව මම එයත් එක්ක ගනුදෙනු කරනවා…., කෝ එයා හදපු හොටස්ටල් එක…., ආණ්ඩුවේ දුන්න ඉඩම කෝ…., ෆවුන්ඩේෂන් එක මිනිස්සුන්ගේ තොප්පි ගහලා ගිහිල්ලා සල්ලි එකතු කළා. මං ගාව තියෙනවා මිනිස්සු සල්ලි දීපු ඒවා…..” යනාදි ලෙස එම මාධ්‍ය සාකච්ඡාවේදී තිලංග සුමතිපාල මහතා කළ ප්‍රකාශ හේතුවෙන් තමන්ට අභූත චෝදනාවලට මුහුණ දීමටත් පරිභවයන්ට ලක් වීමටත් සිදු වූ බවද එම එන්තරවාසියේ වැඩිදුරටත් දැක්වේ.
අර්ජුන රණතුංග මැතිතුමා වැඩිදුරටත් එන්තරවාසියෙන් කියා සිටින්නේ තමන්ට සිදු ව ඇති අපකීර්තිය, සමාජීය නින්දාව හේතුවෙන් වන්දි ලෙස ඉල්ලා සිටින රුපියල් මිලියන දහස එන්තර වාසිය ලැබී දින 14ක් ඇතුළත නොගෙවුවහොත් තිලංග සුමතිපාල මහතාට එරෙහිව ඉදිරියේදී නඩු පවරන බවයි.









