FAST NEWS

24×7 Around the Globe

දෝනිට මකුලූ කැමරාව හිසරදයක්.

ඉන්දියාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර සිඞ්නිහිදි පැවැති එක්දින තරගයේ ජයග‍්‍රහණය හඹායාමට පිටියට පැමිණි ඉන්දීය පිතිකරුවන්ගෙන් විරාට් කෝලි මුහුණදුන් පළමු පන්දුවම හතරේ සීමාවට යායුතුව තිබූ එකකි.

එහෙත් තරග විනිසුරුවරුන්ට එය අජීවි පන්දුවක් බවට තීරණය කිරීමට සිදුවූයේ එය හතරේ සීමාවට යන අතරමග මකුලූ කැමරාවේ ගැටුණු නිසාය. ඒ ඊයේය.
සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදීම ඉන්දියාව මුහුණදුන් අවසන් ටෙස්ට් තරගයේදී ලෝකේෂ් රාහුල් දුන් පහසු උඩපන්දුව ස්ටීවන් ස්මිත්ට රැකගැනීමට නොහැකිවූයේ ද මකුලූ කැමරාවේ අවහිරතාව නිසාය. එය සිදුවූයේ 2014 වසරේ අගභාගයේදීය.

ඊයේ පැවැති එක්දින තරගයෙන් අවසානයේ දී ඉන්දියාව ජයගත්තේය. එහෙත් පසුගිය වසරේ පැවැති ඉහත කී ටෙස්ට් තරගයේ දී ස්මිත්ට රැකගැනීමට නොහැකිවූ උඩපන්දුවෙන් කඩුල්ල ආරක්ෂා කරගත් රාහුල් අවසානයේ දී ශතකයක් රැස් කළ අතර එසේ නොවුනානම් ජයපරාජයෙන් තොරව නිමාවට පත්වූ එම තරගයෙන් ඕස්ටේ‍්‍රලියාවට ජයගැනීමේ අවස්ථාවක් තිබුණා නොවේදැයි කෙනෙකුට සිතිය හැකිය.

මෙලෙස කි‍්‍රකට් පිටියට අනවසරයෙන් ගොඩවදින රූපවාහිනී කැමරා සම්බන්ධව සමතුලිත බවක් ඉල්ලා සිටින ඉන්දීය එක්දින පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි එළැඹෙන විස්සයි20 තරගාවලියේ දී මෙවැනි රූපවාහිනී දෘෂ්ඨ ප‍්‍රයෝගවලින් කී‍්‍රඩාවට බාධාවේදැයි කුකුසෙන් යුතුව පසුවෙයි.

”මම ටිකක් සම්ප‍්‍රදායික මිනිහෙක්” දෝනි එසේ කියයි.

”කි‍්‍රකට් කී‍්‍රඩාවට බාධාවක් වන ඕනෑම දෙයකට මගේ කැමැත්තක් නෑ. ඒක පටන් ගත්තේ විස්සයි20 කී‍්‍රඩාවත් එක්කයි. ඒ එක්කම ඇයි ඔයා මයික‍්‍රෆෝනයක් පළඳින්නේ නැත්තේ…ඇයි ඔයා කැමරාවක් පළඳින්නේ නැත්තේ කියලා හැමෝම අහන්න පටන්ගත්තා” දෝනි කියයි.

”මම නිතරම හිතන්නේ මේ කාරණාවල සමතුලිත බවක් තිබිය යුතුයි කියලයි.

”ඒක නරඹන්නන්ගේ කී‍්‍රඩාවක් තමයි. රූපවාහිනියෙන් තරගය නරඹන අයට හොඳ දර්ශනයක් ලබාදිය යුතු බව ඇත්ත. ඒත් ඒ එක්කම හතරේ පහරකට ඉන් බාධාවක් වුණා කියන්නේ බරපතල කාරණාවක්. විශේෂයෙන් තීරණාත්මක තරගයකදි මෙවැනි හතරේ පහරවල් තීරණාත්මක ඒවා”

”වැරැද්දකදී හැමෝටම දඩුවම් ලැබෙනවා. ඒත් එහෙම ක‍්‍රමවේදයක් ඇයි මකුලූ කැමරාවට නැත්තේ. හොඳයි අපි මෙහෙම හිතමු. මකුලූ කැමරාවට පහරක් වැදුනොත් ඩොලර් 2000ක් දෙමු. අපි ඒ වගේ වඩාත් ප‍්‍රබෝධයක් ඇති කරවන දෙයක් කරමු” දෝනි එසේ අපූරු යෝජනාවක් ද කරයි.

”දැන් බලන්න ඔබ දැවී ගිය කි‍්‍රඩකයකු විදිහට ආපසු කී‍්‍රඩාගාරයට යද්දී කැමරාකරුවන් ඔබව වටකර ගන්නවා. මකුලූ කැමරාවත් ඔබේ පස්සෙන් ලූහු බඳිනවා,

”ඔබට සෙසු කී‍්‍රඩකයන්ව හොඳින් පෙනෙනවා. ඔවුන් මේ දැවීයාමෙන් වික්ෂිප්තව ඉන්න බව පෙනෙනවා. දිනය අවසානයේදී එය නරඹන්නන්ගේ කී‍්‍රඩාවක් බව අමුතුවෙන් කිව යුතු නෑ. නරඹන්නන් නැතිනම් කී‍්‍රඩාවට පැවැත්මක් නැ. ඉතින් ඩොලර් 2000ක් කියන්නේ හොඳ විකල්පයක්.”

පසුගිය වසරේ සිඞ්නි ටෙස්ට් තරගයේ දී රාහුල්ගේ උඩපන්දුව ස්මිත්ගෙන් ගිලිහී ගිය මොහොතේ චැනල් 9 රූපවාහිනි සේවය හා ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතනය මේ ගැන සාකච්ඡ කළේය.

ඇත්තෙන්ම ඒ මොහොතේ උඩපන්දුව මකුලූ කැමරාවේ නොගැටුණු බවත්, සිදුවූයේ එහි කේබල් රැහන් නිසා ස්මිත්ගේ දර්ශන පථයට බාධා ඇතිවුණු බවකි.

චැනල් 9 රූපවාහිනි සේවයත්, ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතනයත් මේ මකුලූ කැමරාව තව දුරටත් භාවිතා විය යුතු ආකාරය පිළිබඳ පැහැදිලි නිගමනයකට එළැඹිය යුතුය. යම්කිසි අවශ්‍යතාවකදී ඕනෑම කී‍්‍රඩකයකුට මකුලූ කැමරාව ඉවත් විය යුතු ආකාරය පිළිබඳ විනිසුරුවරුන්ට දන්වා සිටීමට අවසර දිය යුතුව තිබේ.