FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාව ලංකාවේ වැඩට බහි…

පසුගිය රජයේ නායකයන් විසින් විදේශ රටවල සඟවා ඇතැයි කියන වත්කම් හෙළිකර ගැනීම සඳහා දිවයිනට පැමිණි විශේෂඥ කණ්ඩායම් සිය පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇති අතර ඔවුන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමු වී මහා පරිමාණ විමර්ශන පිළිබඳ අවශ්‍ය තොරතුරු රැස්කරගෙන තිබේ.අදාළ මූල්‍ය ගනුදෙනු පිළිබඳව අවශ්‍ය තොරතුරු හා සාක්ෂි හෙළිකර ගැනීම සඳහා අවශ්‍ය කරන තාක්ෂණික ක්‍රමවේද හා පහසුකම් ශ්‍රී ලාංකික විමර්ෂණ නිලධාරීන්ට සැපයීමටද කටයුතු කර තිබේ.

මීට සමගාමීව ඇමෙරිකානු විශේෂඥයින් පිරිස ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට අනුවය.

පසුගිය රජය සමයේ ඇමෙරිකාවේ සේවය කළ ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සිදුකළ ගනුදෙනු පිළිබඳවද විස්තර ශ්‍රී ලංකා රජයට ලබාදීමටද ඇමෙරිකානු කණ්ඩායම සූදානමින් සිටියි. එම පුද්ගලයා වෘත්තීයමය කාර්යයන්ට අමතරව අතරමැදි (බ්‍රෝකර්) සේවා සිදුකරමින් විශාල වශයෙන් මුදල් උපයාගෙන තිබෙන බවටද වාර්තා වේ.

පසුගිය ආණ්ඩුවේ ප්‍රබල චරිතයකට හිමිකම් කී දේශපාලඥයෙකු පිළිබඳව මූල්‍ය විමර්ශන කොට්ඨාසයේ අවධානය යොමුව තිබෙන අතර, ඔහු ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්, ආර්ලින්ග්ටන්, වර්ජිනියා හා වොෂින්ග්ටන් ආදී ප්‍රදේශවලින් නිවාස මිලදීගෙන තිබෙන බවද වාර්තා වේ. ඔහු ඇමෙරිකාවේදී ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල වශයෙන් මුදල් යෙදවීම පිළිබඳවද සිදුකරන පරීක්ෂණවලදී වැඩි අවධානය යොමුකර තිබේ.