FAST NEWS

24×7 Around the Globe

ඉවත් කරන ලද ප්ලූටෝ වෙනුවට නව ග්‍රහලෝකයක්..

2006 වසරේදී වාමන(කුරු) ග්‍රහයෙකු බව ප්‍රකාශ කරමින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවත් කරන ලද ප්ලූටෝ වෙනුවට නව ග්‍රහලෝකයක් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේ පර්යේෂකයින් විසින් 9 වැනි ග්‍රහලෝකය විය හැකි බවට සැක කරන ග්‍රහයෙක් පවතින බවට සාක්ෂි හඳුනාගෙන තිබේ.

නවවැනි ග්‍රහලෝකය ලෙස තාවකාලිකව නම් කර ඇති එය පෘථිවියේ ස්කන්ධය මෙන් දස ගුණයක ස්කන්ධයකින් යුක්ත වන අතර එය නෙප්චූන් ග්‍රහයා සහ සූර්යයා අතර පවතින දුර මෙන් විසි ගුණයක් දුරින් පිහිටා තිබේ.

ඒ අනුව මෙම නව ග්‍රහලෝකයට සූර්යයා වටා එක් වරක් භ්‍රමණය වීමට වසර 10,000ත් 20,000ත් අතර කාලයක් ගත වන බව පර්යේෂකයින් පවසයි.

2006 අගෝස්තු 24 වන දා අන්තර්ජාතික තාරකා විද්‍යාත්මක සංගමය ග්‍රහලෝකය යන්න අර්ථ දැක්වූ අතර ඉන් ප්ලූටෝ ග්‍රහලෝක යන්නෙන් ඉවත් වී ඒරිස් හා සෙරස් සමඟ වාමන ග්‍රහලෝක යන නව කාණ්ඩයට එකතු විය.

විද්‍යාඥයින් විසින් මේ වනවිට වාමන ග්‍රහලෝක 5ක් හඳුනාගෙන තිබේ.

වාමන ග‍්‍රහලෝකයක් හිරු වටා කක්‍ෂයක ගමන් කළ යුතු වන අතර ආසන්න වශයෙන් රවුම් හැඩයක් ගැනීමට තරම් ස්වගුරුත්වයක් උපදවා ගැනීමට තරම් ප‍්‍රමාණවත් ස්කන්ධයක් පැවතිය යුතුය. තවද එහි කක්‍ෂයේ වටපිටාව පැහැදිලිව හඳුනා ගැනීමට නොහැකි වනවා සේම උපග‍්‍රහයින්ද නොමැත.