ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට තරග පාවාදිමට යෝජනා කිරීමේ සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ලෝක ආර්ථික සමුළුවට එක්වීම සඳහා ස්විට්සර්ලන්තයේ ඩවෝස් නුවරට ගොස් සිටින අග්‍රාමාත්‍යවරයා ඊයේ (20දා) එහි පැවැති මාධ්‍ය හමුවකට එක්වූ අතර එහිදී මාධ්‍ය වේදීන් තරග පාවාදීම පිළිබඳව කළ ප්‍රශ්නයකට පිළිතරු දෙමින් ඔහු මේ බව සඳහන් කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
එසේම චීන ආයෝජන ශ්‍රී ලංකාවට අවශ්‍ය බවත්, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේය.
ප්‍රශ්නය : ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රිකට් තරග පාවා දුන්නා යැයි චෝදනා එල්ල වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබ රජය ගන්නා පියවර මොනවාද?
පිළිතුර : ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් එවැනි චෝදනාවක් එල්ල වී තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපි පුළුල් පරීක්‍ෂණයක් කරනවා. රටකට යම් චෝදනාවක් එල්ල වෙනවා නම්, විනිවිදව හා විවෘතව ඒ පිළිබඳව සොයා බැලිය යුතුයි. මේ තුළින් රටේ හා ක්‍රීඩකයන්ගේ පිරිසිදුභාවය ඔප්පු කළ හැකියි. මෙය ක්‍රීඩකයාටත්, ක්‍රීඩාලෝලීන්ටත්, රටටත් කීර්තියක් ඇති කරන්නක් වේවි.