තමාට පුහුණුකරු සමග කිසිම ගැටලුවක් නොමැති බවත් කිසියම් වූ ක්‍රීඩකයෙක් කණ්ඩායමේ නීතිය කඩකර ඇත්නම් ඔහුට කිසිම සමාවක් නොමැති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය. එසේම නවසීලන්ත තරගාවලිය පරාජය වීම පුහුණුකරුගේ වැරැද්දක් නොවන බවත්, කණ්ඩායම ක්‍රීඩා කරපු විලාසයේ වැරැද්දක් තිබෙන බවත් ඔහු පැවසීය.
මැතිව්ස් එසේ පැවසුවේ, ඊයේ (13දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති නවසීලන්ත සංචාරය පිළිබඳව මාධ්‍ය හමුවේදීය.
“මට ගොඩක් දේවල් අහන්න ලැබුණා. මම ඔහුත් (පුහුණුකරු) සමග හොඳ සබඳතාවක් පවත්වනවා. අපි අතර ගැටුම් ඇති වුණේ නෑ. මේක පුහුණුකරුගේ වැරැද්දක් නෙමෙයි. කණ්ඩායම ක්‍රීඩා කරපු විලාසයේයි වැරැද්ද තිබුණේ.
පසුගිය කාලසීමාවේදී සමහර අය කණ්ඩායම් නීතිය නොසලකා හැර කටයුතු කර තිබෙනවා. කළමනාකරු ඒ ගැන බලාගනීවි. මොකක් හරි ගැටලුවක් වෙලා තියෙනවා නම් ඔහුට එරෙහිව ඒ අවස්ථාවේම කටයුතු කළ යුතුයි. ඒ අයට කිසිම සමාවක් නෑ. තරගාවලියක් පැරදුනාම විවිධ චෝදනා එනවා. අපි කවදාවත් පරාජය වෙන්න ක්‍රීඩා කරන්නෙ නෑ. මේ අත්දැකීම්වලින් ශක්තිමත් වෙලා ඉදිරි තරගවලදී දක්ෂතා දක්වන්න බලාපොරොත්තුවෙනවා.” යැයි මැතිව්ස් පැවසීය.
තරගාවලියේදී කණ්ඩායම හොඳින් පුහුණුවීම් කළද සිය සැලසුම් නිසියාකාරව ක්‍රියාත්මක නොවුණ බවත් දිනේෂ් චන්දිමාල්, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩසේ හා කුසල් මෙන්ඩිස් හොඳින් දක්ෂතා දැක්වූ බවත් ඔහු පවසා සිටියේය. නමුත් තිසර පෙරේරාගෙන් බලාපොරොත්තු වූ දක්ෂතා නොලැබුණ බවත් කුසල් පෙරේරා කණ්ඩායමේ නොමැති වීම පාඩුවක් බවද ඔහු සඳහන් කළේය.
“කොහොම වුණත් ඒක අපිට අමාරු තරගාවලියක්. නමුත් අපිට අවස්ථා තිබුණා. අපි අතින් වැරදි වුණා. අපි කනගාටුවෙනවා. අපි හොඳින් ක්‍රීඩා කළේ නෑ. අපිට කරන්න පුළුවන් හැමදේම එහිදී කළා. පුහුණුවීම්, සැලසුම් හොඳින් කළා. නමුත් ඒවා වැඩ කළේ නෑ. චන්දිමාල් හා දුෂ්මන්ත චමීර හොඳින් දක්ෂතා දැක්වුවා. වැන්ඩසේ හොඳින් පන්දු යැව්වා. කුසල් මෙන්ඩිස් වගේ දක්ෂ තරුණ ක්‍රීඩකයන් අපිට ඉන්නවා.
මෑත කාලෙදී තිසර පෙරේරාගෙන් බලාපොරොත්තු වුණ දේ ලැබුණේ නෑ. ඔහු වැදගත් ක්‍රීඩකයෙක්. සමහර අවස්ථාවලදී ක්‍රීඩකයන්ට අමාරු තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙනවා. ඔහු ඉතාමත් හොඳින් පුහුණුවීම් කරනවා. ඔහු ඉක්මනින් පරණ තත්ත්වයට එයි.
අවස්ථාවන් අනුව ක්‍රීඩා කිරීමට තමයි කණ්ඩායමට නොහැකි වුණේ. කාලයක් තිස්සෙ මේ දේ වෙනවා. ඔවුන් ඉදිරියට ඉගෙන ගනීවි. මේ කණ්ඩායම හුඟක් ළාබාල නිසා අඩුපාඩු හොඳට පේනවා.
කුසල්ට මොකක්ද වුණේ කියලා අපි දන්නෙ නෑ. ඔහු කණ්ඩායමට නැති වීම පාඩුවක්. ඕනෑම තත්ත්වයක හොඳින් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. මම විශ්වාස කරනවා ඔහුට ඉතාමත් ඉක්මනට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එයි කියලා.” යැයි මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.
පරාජයවීම ගැන කනගාටුයි – විස්සයි20 නායක දිනේෂ් චන්දිමාල්
“අපිට අවුරුදු දෙකක් විතර අංක එකේ හිටියේ. අපි සියලුදෙනාටම ඕන වුණේ ඒ තැන තියාගන්න. අපි කණ්ඩායමක් ලෙස පළමු තරගය හොඳින් ක්‍රීඩා කළා. නමුත් දෙවැනි තරගයේදී අපිට හොඳින් එන්න බැරිවුණා. තරගාවලිය පරාජයවීම ගැන කනගාටුවෙනවා. අපි ඊළඟ තරගයේ සිට ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.”






