සුපිරි ලතින් ඇමරිකානු ගායක එන්රිකේ ඉග්ලේසියාස්ගේ කොළඹ ප්‍රසංගයේ සංවිධායකයන්ට එරෙහිව ඉදිරියේ දි නඩු පවරන බව කොළඔ මහ නගර සභාව පවසයි.
නගර සභාව ප්‍රකාශ කරන පරිදි දෙසැම්බර් විසිවැනිදා පවත්වන ලද ලතින් ඇමරිකානු සංගීතවේදියාගේ ප්‍රසංගය සඳහා සංවිධායකයන් ප්‍රසිද්ධ රගදැක්වීමේ බලපත්‍රයක් ලබාගෙන නැතිවාක් මෙන්ම කෝටි තුනකට ආසන්න මුදල් වංචාවක්ද සිදු කොට තිබේ.
එන්රිකේ ඉග්ලේසියාස් කොළඹට ගෙන්වන ලද්දේ ශ්‍රීලංකා ක්‍රිකට් පිලේ නායකත්වය දැරූ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ගේ ප්‍රධානත්වයෙන් යුත් ලයිව් ඉවන්ට්ස් පුද්ගලික සමාගම විසිනි.
Love and Sex ප්‍රසංගය වෙනුවෙන් සංවිධායකයන් විසින් නිකුත් කරන ලද මුළු ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව වසන් කර මහ නගර සභාවට විනෝද බද්ද සඳහා අයවිය යුතු මුදල් වංචා කර තිබීම නිසා නගර සභාවට අහිමි වී ඇති ආදායම රුපියල් දෙකෝටි අනූ ලක්ෂය ඉක්මවන බව කොළඹ මහ නගර සභාවේ භාණ්ඩාගාරික කේ.ඩී චිත්රපාල මහතා පවසා ඇත.
එම නිසා කොළඹ මහ නගර සභාවට අදාල ප්‍රසංගයෙන් අයවිය යුතු බදු මුදල් ලබාගැනිම සදහා නඩු මාර්ගයට යොමු වන බවයි ඔහු පවසන්නේ.
අඩු මිළ ටිකට් වැඩියෙන්
නගර සභාවේ අනුමැතිය සදහා ටිකට්පත් ඉදිරිපත් කිරිමේදි වැඩි මිල ගණන් යටතේ තිබු ප්‍රවේශ පත්‍ර අඩු ප්‍රමාණයක් සහ අඩුම මිළ නියම කර තිබු ටිකට් වැඩි ප්‍රමාණයක් නගර සභාවට ඉදිරිපත් කරමින් මෙම වංචාව සිදු කර තිබෙන බවයි මහ නගර සභාවේ භාණ්ඩාගාරිකවරයා පවසා ඇත්තේ.
ප්‍රවේශ පත්‍ර වල මිළ සඳහන් කර ඇත්තේ රුපියල් 35,000, 30,000, 20,000, සහ 5000 ලෙසිනි.
කෙසේ නමුත් ප්‍රසංගය වෙනුවෙන් ටිකට්පත් අලෙවි කළ ස්ථානයකින් සොයාගත් රුපියල් 35000 ක වටිනාකමකින් යුත් ටිකට් පතක අනුක්‍රමික අංකය ලෙස 7550 සටහන් වී තිබුන බවත් ඒ අනුව ප්‍රසංගය සදහා අලෙවි කළ මුලු ටිකට් පත් ප්‍රමාණය 7750 කට අධික බව නිගමනය කළ හැකි බව ඔහුගේ අදහසයි.
ලයිව් ඉවන්ට්ස් සමාගම තම වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කොට තිබෙන පරිදි අලෙවි කෙරෙන මුළු ටිකට් පත් සංඛ්‍යාව අට දහසකි.
කෙසේ නමුත් ප්‍රසංගය සදහා නගර සභාවෙන් ලබා ගත යුතු ප්‍රසිද්ධ රගදැක්වීමේ බලපත්‍රය පවා ලබා නොගෙන මෙම ප්‍රසංගය පවත්වා ඇති බවයි භාණ්ඩාගාරික කේ.ඩී චිත්රපාල පවසන්නේ.
ප්‍රසංගය සංවිධානය කිරිමේදි සිදුවී තිබු අඩුපාඩු සම්බන්ධයෙන් කනගාටුව පල කරමින් නිකුත් කළ නිවේදනයක මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර සඳහන් කර තිබුනේ තම සමාගම නගර සභා විනෝද බද්ද සම්බන්ධයෙන් ‘පාරදෘශ්‍ය සහ ආචාර ධාර්මික ලෙසින් කටයුතු කරන බව එකහෙලා පවසන’ බවය.
“කරුණු පැහැදිලි කිරීමටත් ඉදිරි මාර්ගය පැහැදිලි කර ගැනීම සඳහාත් අවශ්‍ය සියලු තොරතුරු කොළඹ මහ නගර සභාවට ලබා දෙන,” බවටත් ඔවුන් සහතික වී තිබේ.